මුට්ඨසච්ච යනු සිහිය නැති බව ය. පමාද යන වචනයෙන් කියැවෙන්නේ ද එය ම ය. ලෝභාදි අකුශල ධර්මයන්ට ඇති වන්නට නො දී සිත කුශලයෙහි පවත්වන්නේ කායකොට්ඨාසාදියෙහි පවත්වන්නේ සතියෙනි. සතිය නැති වූ කෙණෙහි ම සිත යන්නේ අකුශල පක්ෂයට ය. සිහිය නැති බවය කියනුයේ රාගාදි අකුශල ධර්මයන්ගේ පැවැත්මට ය. දුකින් මිදෙන්නට නම් නිතර ම සිහියෙන් විසිය යුතු ය. සතිය අත්‍යවශ්‍ය ධර්මයෙකි. එබැවින් බෝධිපාක්ෂික ධර්ම දේශනයේ දී සතිපට්ඨාන නාමයෙන් සතිය මුලට ම ගෙන ඇත්තේ ය. සතින්ද්‍රිය, සතිබ, සතිසම්බොජ්ඣංග, සම්මාසති යන නම් වලින් දැක්වෙන්නේ ද මේ සතිය ය. මේ සතිය අකුශලයන් යටපත් කොට කුශලය මතු කර දෙන ධර්මයෙකි. එබැවින් නාගසේන ස්ථවිරයන් වහන්සේ මිලිඳු රජුට මෙසේ වදාරා ඇත්තේ ය. “මහරජ සක්විති රජුගේ භාණ්ඩාගාරික තෙමේ උදය සවස රජු වෙත ගොස්, දේවයන් වහන්ස, නුඹ වහන්සේට ඇත්හු මෙපමණය. අශ්වයෝ මෙපමණය. රථ මෙපමණය. පාබල සෙනග මෙපමණය. අමුරන් මෙපමණය. රන් මෙපමණය. මේ සියලු සම්පත්තිය නුඹ වහන්සේ සිහි කරන සේක්වා”යි කියයි. “මහරජ එමෙන් ම මේ සතිය අකුශල ධර්මයන් යටපත් කරයි. මේ සතර සතිපට්ඨානයෝ ය. මේ සතර සම්‍යක් ප්‍රධානයෝ ය. මේ සතර සෘද්ධිපාදයෝ ය. මේ පස ඉන්ද්‍රියෝ ය, මේ පස බලයෝය, මේ සත බෝධ්‍යංගයෝ ය. මේ ආර්‍ය්‍ය අෂ්ටාංගිකමාර්ගයය, මේ සමථය, මේ විදර්ශනාවය, මේ විද්‍යාවය, මේ විමුක්තියය, මේ ලෝකෝත්තර ධර්මයෝ ය” යි කුශල ධර්මයන් මතු කරයි. “මහරජ, මෙසේ සතිය මතු කර දෙන ලක්ෂණය ඇත්තේ ය. තව ද මේ සතිය අහිත ධර්මයන් බැහැර කරන ස්වභාව ඇත්තේ ද වේ. එබැවින් නාගසේන ස්ථවිරයන් වහන්සේ මෙසේ වදාළහ. “මහරජ, චක්‍රවර්ති රජුගේ පරිනායක රත්නය, මොවුහු රජුට හිතයෝ ය, මොවුහු අහිතයෝය, මොවුහු උපකාරකයෝය, මොවුහු අනුපකාරකයෝ යයි රජුට හිතාහිතයන් දන්වන්නේ ය. හෙතෙමේ රජුට අහිතයන් බැහැර කරයි. හිතවතුන් ළං කරයි. මහරජ, එමෙන් සතිය මේ ධර්මයෝ හිතයෝය, මේ ධර්මයෝ අහිතයෝ ය, මේ ධර්මයෝ උපකාරකයෝය, මේ ධර්මයෝ අනුපකාරකයෝය යි හිතාහිත ධර්මයන්ගේ ස්වභාවය සොයයි. ඒවා දැන අහිත වූ ධර්මයන් දුරු කරයි. හිත ධර්මයන් ළං කරයි. මහරජ මෙසේ සතිය අනුග්‍රහ කරන ස්වභාව ඇත්තේ ය.” මෙසේ දැක්වෙන පරිදි අතිශයින් උපකාරක ධර්මයක් වන මේ සතිය සැම කල්හි පවත්වා ගැනීමට උත්සාහ කළ යුතු ය.
චිත්ත ඵස්ස වේදනාදි නාම ධර්මයන් හා පඨවි ආපෝ තේජෝ වායෝ ආදි රූප ධර්මයන් ද වෙන් වෙන් වශයෙන් හැඳින ගැනීමට සමත් වන්නා වූ ද, ඒවායේ ලක්ෂණ වෙන් වශයෙන් හැඳින ගැනීමට සමත් වන්නා වූ ද, ඒවායේ සාධාරණ ලක්ෂණ වූ අනිත්‍ය ලක්ෂණය දුඃඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය දැන ගැනීමට සමත් වන්නා වූ ද, දුක දුකට හේතුව දුක් නිවීම දුක් නිවීම වූ නිවනට පැමිණීමේ උපාය දැන ගැනීමට සමත්වන්නා වූ ද විශේෂ ඥානය සම්පජඤ්ඤ නම් වේ. සම්පජඤ්ඤය ඇති වීමට ඉඩ නො දෙන නාම රූප ධර්මයන් හා ඒවායේ ලක්ෂණ වසන මෝහය අසම්පජඤ්ඤ නම් වේ. අවිද්‍යාව යයි කියනුයේ ද මෙයට ම ය. සත්ත්වයන්ට සංසාරය දික් වන්නේ නැවත නැවත අපායෙහි වැටෙන්නට සිදුවන්නේ මේ ධර්මයන්ගේ ස්වභාවය වසන අවිද්‍යාව නිසා ය.
චේතසෝ වික්ඛෙපෝ යනු සිතෙහි නො සන්සුන් බව ය. අරමුණෙහි සිත සැලෙන දඟලන බව ය. උද්ධච්ච යයි කියනුයේ ද මේ ස්වභාවයටය. සිතට අරමුණ අමිහිරි වීම නිසා මේ සැලීම ඇති වේ. මෙය භාවනා කරන අයට සමාධිය ලැබීමට බාධා කරන ක්ලේශයෙකි. නීවරණයෙකි.