29. ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා 30. භෝජනේ අමත්තඤ්ඤුතා

star_outline

ඉන්ද්‍රියේසු අගුත්තද්වාරතා යනු ඉන්ද්‍රිය සංවරය නැති බව ය. ඉන්ද්‍රිය යනු රූපාදි අරමුණු ගැනීමට උපකාර වන වස්තූහු ය. ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේ සය ඉන්ද්‍රියෝ ය. ඒ සය ම චක්ෂූන්ද්‍රිය, සෝතින්ද්‍රිය, ඝාණින්ද්‍රිය, ජීව්හින්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය යි ද කියනු ලැබේ. ඉන්ද්‍රිය සය කෙලෙස් නමැති දිය දහර ගලන සිදුරු සයෙකි. සියලුම කෙලෙසුන් සියලු පව්කම් ගලා යන්නේ ඒ සිදුරු වලිනි. ඒ සිදුරු වැසිය හැකි පියන සිහිය ය. ඒ බව භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සති තේසං නිවාරණං’ යනුවෙන් වදාරා ඇත්තේ ය. සතියෙන් ඉන්ද්‍රිය වසා ගෙන ඇති පුද්ගලයාගේ ඇසට හොඳ වස්ත්‍ර‍යක්, ආභරණයක්, වාහනයක්, ගෙයක් හෝ අන් කිසි වස්තුවක් හෝ දැකුම්කලු පුද්ගලයකු හෝ මුණ ගැසුණ හොත් එකෙණෙහි ම ඒ දෙය ලස්සනය හොඳය කියා තණ්හාව ඇති වේ. අනතුරුව එය ලැබීමේ ආශාව වන අභිධ්‍යාව ඇති වේ. එය හෝ එවැනි දෙයක් ලැබෙන තුරු මාස ගණනක් වුව ද වර්ෂ ගණනක් වුව ද ඔහු ගේ සන්තානයෙන් දිගින් දිගට ම ක්ලේශ නමැති දිය දහර ගලන්නේ ය. ඉන්ද්‍රිය සංවරය නැති තරුණයකුගේ ඇසට ලස්සන තරුණියක් මුණ ගැසුණන හොත් රාගය නමැති කෙලෙස් දිය දහර අතිදීර්ඝ කාලයක් ගලන්නට වන්නේ ය. ඒ සම්බන්ධයෙන් ක්‍රෝධ ඊර්ෂ්‍යා නමැති කෙලෙස් ද නොයෙක් පව් කම් ද ගලන්නට වන්නේ ය. සෝතාදි අන්‍ය ඉන්ද්‍රියන්ගෙන් ද එසේම කෙලෙස් ගලන සැටි කල්පනා කොට තේරුම් ගත යුතු ය.

සර්වාකාර පරිපූර්ණ ඉන්ද්‍රිය සංවරයක් ඇති කර ගැනීම දුෂ්කර ය. එය හැකි වතොත් හැකි වන්නේ පැවිද්දකුට ය. සියලු පැවිද්දන්ට එය නො කළ හැකි ය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් ඒ ගැන සික පද නො පනවන ලදී. යමෙකුට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ කළ හැකි වුවහොත් දුකින් මිදීමට අන් කළ යුත්තක් ඉතිරි නො වේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ විසින් මාලුංක්‍ය පුත්‍ර‍ භික්ෂුවට හා බාහිය දාරුචීරියටත් “ඉදින් ඇසින් රූප දැක දැකීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, කනින් ශබ් අසා ඇසීම් මාත්‍රයෙහි සිටින්නේ නම්, නාසයෙන් ගඳ සුවඳ දැන, දැනීම් මාත්‍රයෙහි සිටින්නේ නම් නුඹ මෙලොවත් නො වේ ය, පරලොවත් නො වේ ය, දෙලොවෙහි ම නොවේ ය, එය ම දුක් කෙලවර වීම වන්නේ ය”යි වදාළ සේක. ශ්‍ර‍මණප්‍ර‍තිපදාව දක්වන සූත්‍ර‍වල මිස ගෘහස්ත ප්‍ර‍තිපදාව දක්වන සූත්‍ර‍වල ඉන්ද්‍රිය සංවරය දක්වා නැත. එහෙත් ගිහියන් විසින් ද එක්තරා ප්‍ර‍මාණයකින් ඉන්ද්‍රිය සංවරය ඇති කර ගත යුතු ය. එසේ නුවුවහොත් මිනිසා තිරිසන් ගණයට වැටෙන්නේ ය.

භෝජනේ අමත්තඤ්ඤුතා

භෝජනේ අමත්තඤ්ඤුතා යනු ආහාර ගැනීමේ ප්‍ර‍මාණය නො දන්නා බව ය. අපථ්‍ය ආහාර ගැනීම, නුසුදුසු කල්හි ආහාර ගැනීම, පමණට වඩා කුස පිරෙන සේ ආහාර ගැනීම භෝජනයෙහි පමණ නොදන්නා බව ය. ඒ ඒ පුද්ගලයාට පථ්‍යාපථ්‍ය ආහාර ඇත්තේ ය. ආහාර ගැනීමේ පමණ නොදත් පුද්ගලයා රස තණ්හාව නිසා අපථ්‍යාහාර අනුභව කොට රෝග සාදා ගනී. සමහර විට අපථ්‍යාහාරයෙන් මරණයට ද පත් වේ. සැම වෙලාවේ ම ආහාර වැළඳීම නුසුදුසු ය. තණ්හාව නිසා, ලැබෙන සෑම වෙලාවේ ම ආහාර ගැනීම ශරීරයට අහිත ය. එය නොයෙක් රෝගයන් ඇති වීමට හේතුවකි. ඇතැම්හු රස ආහාර ලද හොත් නැගිටින්නට බැරි වන තුරු උගුර තෙක් පිරෙන ලෙස අහර වළඳති. එය ද ශරීරයට අහිත ය. සමහර විට එයින් මරණය ද විය හැකිය. කොසොල් රජතුමා පමණට වඩා ආහාර වැළඳූ කෙනෙකි. එයින් ඔහු පීඩාවට පත්විය. ඔහු එයින් මුදවනු පිණිස බුදුන් වහන්සේ විසින් ඔහුට මේ ගාථාව වදාරණ ලදි.

මනුජස්ස සදා සතිමතෝ

මත්තං ජානතෝ ලද්ධයෝජනේ

තනු තස්ස භවන්ති වේදනා

සනිකං ජිරති ආයු පාලයං

ලද බොජුනෙහි ප්‍ර‍මාණය දන්නා වූ සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නා වූ මනුෂ්‍යයාට ශාරීරික වේදනාවෝ මඳ වන්නාහ. ඔහු පමණට වැළඳූ ආහාරය ආයුෂය ආරක්ෂා කරමින් සෙමින් දිරන්නේ ය - යනු එහි තේරුම ය.

විභංග පාලියෙහි දක්වා ඇත්තේ ආහාර ගැනීමේ ප්‍රයෝජනය නුවණින් ප්‍ර‍ත්‍යවේක්ෂා නො කොට කෙලෙස් වැඩෙන පරිදි ආහාර වළඳන බව භෝජනේ අමත්තඤ්ඤුතාව කියා ය. එය දක්වා ඇත්තේ භික්ෂු ප්‍ර‍තිපදාව අනුව ය. භික්ෂූන් විසින් ආහාර වැළඳිය යුත්තේ ඒ හේතුවෙන් කෙලෙස් නො වැඩෙන පරිදි නුවණින් ප්‍ර‍ත්‍යවේක්ෂා කොටය. නළුවෝ පිනුම් කාරයෝ සර්කස් කාරයෝ තම තමන් කරන ක්‍රීඩාව හොඳින් කිරීමේ ශක්තිය ලබනු පිණිස, ගී සින්දු හොඳින් කීමේ ශක්තිය ලබනු පිණිස මස් මාලු බිත්තර ආදි ආහාර පව්කමින් වුව ද සොයා අනුභව කරති. භික්ෂූන් විසින් එසේ ක්‍රීඩා පිණිස ආහාර නොවැළඳිය යුතු ය. රාජරාමහාමාත්‍යාදීහු ජනයා අතර නිර්භීත ලෙස හැසිරිය හැකිවීම සඳහා මාන මදය වඩනු පිණිසත් පුරුෂ මද නම් වූ කාම ශක්තිය වඩනු පිණිසත් කිරි බිත්තර මස් මාලු ආදිය වළඳති. එසේ මානමද පුරුෂමද වඩනු පිණිස භික්ෂුව විසින් ආහාර නො වැළඳිය යුතු ය. ගණිකාවන් හා ඇතැම් තරුණ තරුණියෝ අත් පා ඇඟිලි ලස්සනට තබා සම පැහැපත් කොට ශරීරය සරසා ගැනීම සඳහා ගිතෙල් මී පැණි ආදී සිනිඳු භෝජන වළඳති. එසේ ශරීරය සැරසීම සඳහා ආහාර වැළඳීම භික්ෂූන්ට නුසුදුසු ය. ඇතැම්හු ශරීරයේ මස් වැඩවීම පිණිස ඇඟ තර කර ගැනීම පිණිස ආහාර වළඳති. භික්ෂූන් විසින් ඒ සඳහා ආහාර නො වැළඳිය යුතු ය. කියන ලද සතර කාරණය සඳහා ආහාර වැළඳීම භෝජනේ අමත්තඤ්ඤුතා නම් ක්ලේශය ය.

ක්‍රීඩා පිණිස ආහාර වැළඳීම ආදී හළ යුතු කරුණු සතර හැර “ඉමස්ස කායස්ස ඨිතියා, යාපනාය, විහිංසූපරතියා, බ්‍ර‍හ්මචරියානුග්ගහාය, ඉති පුරාණං ච වේදනං පටිහංඛාමි, නවං ච වේදනං න උප්පාදෙස්සාමි, යාත්‍රා ච මේ භවිස්සති අනවජ්ජතා ච” යනුවෙන් දැක්වෙන අෂ්ටාංගයන් යුක්ත කොට ආහාර වැළඳීම බුද්ධාදීන් විසින් වර්ණනා කරන ලද භෝජනේමත්තඤ්ඤුතා නම් වූ ගුණය ය.