පඤ්ච නීවරණාති:

star_outline

36. කාමච්ඡන්ද නීවරණං

37. ව්‍යාපාද නීවරණං

38. ථීනමිද්ධ නීවරණං

39. උද්ධච්චකුක්කුච්ච නීවරණං

40. විචිකිච්ඡා නීවරණං.

සත්ත්වයා හට ධ්‍යාන මාර්ග ඵල නිර්වාණයන් කරා යන මග ආවරණය කරන, ඒවාට පැමිණෙන්ට නො දෙන ධර්මයෝ නීවරණ නම් වෙති. සත්ත්වයාගේ චිත්ත සන්තානයෙහි නූපන් කුශලයන් ඇති වන්නටත් උපන් කුශලයන් ගේ පැවැත්මට හා වැඩීමටත් නො දී ආවරණය කරන ධර්මයෝ නීවරණයෝ ය.

මේ නීවරණයෝ සත්ත්වයන්ට ආත්මාර්ථය දැන ගැනීමට හා පරාර්ථය දැන ගැනීමට ද ඓහලෞකිකාර්ථය හා පාරලෞකිකාර්ථය දැන ගැනීමට ද නොදී ආවරණය කරන්නෝ ය.

“පඤ්චිමේ භික්ඛවේ ආවරණා නීවරණා චේතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා”

යනුවෙන් මේ ධර්මයෝ පස්දෙනා කුශලය ආවරණය කරන්නෝ ය, වසන්නෝ ය, සිත මැඩ නැඟ සිටින්නෝ ය ප්‍ර‍ඥාව දුබල කරන්නෝ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය.

පඤ්චිමේ භික්ඛවේ නීවරණා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤා නිරෝධ භාගියා විඝාතපක්ඛියා අනිබ්බාන සංවත්තනිකා.

යනුවෙන් මේ නීවරණයෝ පස් දෙන සත්ත්වයන් අන්ධ කරන්නෝ ය, ඇස් නැතියන් කරන්නෝ ය, අඥයන් කරන්නෝ ය, ප්‍ර‍ඥාව නසන්නෝ ය, දුක් ගෙන දෙන්නෝ ය, නිවන් ලැබීමට හේතු නොව වන්නෝ යයි ද වදාරා ඇත්තේ ය.

කාමච්ඡන්දය ව්‍යාපාදය ථීනමිද්ධය උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡාවය යි නීවරණ පසෙකි. ධම්මසංගණියෙහි වනාහි අවිද්‍යාව ද නීවරණයක් වශයෙන් ගෙන නීවරණ සයක් දක්වා ඇත්තේ ය.

කාමච්ඡන්ද යන මෙහි කාම යනුවෙන් කියැවේනේ ආශාව ය. ඡන්ද යනුවේ කියැවෙන්නේ ද ආශාව ය. සමානාර්ථ ඇති වචන දෙකක් එක් තැන යොදන්නේ අධිකාර්ථයක් දැක්වීම පිණිස ය. කාම ඡන්ද යන වචන දෙක එක් කොට එක් ධර්මයක් දැක්වීම සඳහා යොදා ඇත්තේ කැමැත්ත යනුවෙන් කියැවෙන අර්ථය දෙගුණ කොට දැක්වීම පිණිස ය. එ බැවින් කාමච්ඡන්ද යනුවෙන් කියැවෙන්නේ බලවත් රාගය ය. රූප රාගය අරූප රාගය යන දෙක හැර සියලු තණ්හාවන් කාමච්ඡන්දයට සංග්‍ර‍හ වන්නේ ය. නීවරණ පසක් වුව ද නීවරණ භාවය අතිශයින් ඇති බව කිය යුත්තේ කාමච්ඡන්දයෙහි ය. දන් දීමෙන් වළක්වන්නේ සිල් රැකීමෙන් වළක්වන්නේ පැවිදිවීමෙන් වළක්වන්නේ පැවිදි වූවන් නැවත ගිහි බවට යවන්නේ භාවනා කරන්නවුන්ට වඩා බාධා කරන්නේ මේ කාමච්ඡන්ද නීවරණය ය.

ව්‍යාපාද නීවරණය යනු කුශල ධර්මයන් ආවරණය කරන ද්වේෂය ය. මොහු මට අතීතයේ සංග්‍ර‍හ කෙළේ ය, දැනට ද කරන්නේ ය, මතුත් කරන්නේ ය. මාගේ අඹුදරු ආදි ප්‍රියයන්ට මොහු පෙර අනර්ථ කෙළේ ය, දැනට ද කරන්නේ ය, මතු ද කරන්නේ ය. මාගේ සතුරන්ට මොහු උපකාර කෙළේ ය, දැනට ද කරන්නේ ය, මතු ද කරන්නේ ය ය යි මෙසේ නවාකාරයකින් ද්වේෂය ඇති වේ. ඒ කරුණුවලින් එකකුදු නැති ව අස්ථානයෙහි ද ව්‍යාපාදය ඇති වන්නේ ය. අනේකාකාරයෙන් ඇති වන්නා වූ ඒ ව්‍යාපාදය ව්‍යාපාද නීවරණ නම් වේ. සිල් සමාදන් වීමට භාවනා කිරීමට විශේෂයෙන් බාධා කරන්නේ ඒකක නිර්දේශයේ අරති නමින් දක්වන ලද සියුම් ද්වේෂය ය.

ථීනමිද්ධ නීවරණ යන මෙහි ථීනය මිද්ධය කියා අකුශල චෛතසික දෙකක් ඇත්තේ ය. බරක් පටවන ලද්දක් මෙන් සිතට ඉක්මණින් ක්‍රියා කළ නො හෙන පරිදි සිත තද කර ගෙන යට කර ගෙන සිට සිත දුබල කරන සිත අකර්මණ්‍ය කරන ස්වභාවය ථීන නම් වේ. එය එක් අකුශල චෛතසිකයෙකි. එසේ ම චෛතසිකයන් තද කරගෙන යට කරගෙන දුබල කරන අකර්මණ්‍ය කරන ස්වභාවය මිද්ධ නම් වේ. එය ද එක් අකුශල චෛතසිකයෙකි. ථීනමිද්ධයන් ඇති වන කල්හි සිත කුශල් කිරීමෙහි අලස වේ. කිරීමට ඉදිරිපත් නො වෙයි. ථීනමිද්ධයන් බලවත් ව ඇති වන කල්හි ගමනාදි ක්‍රියා සිදු කිරීමට ද නො සමත් වන තරමට චිත්තචෛතසිකයෝ දුබල වෙති. ඒ අනුව රූපකය ද දුබල වේ. එයින් පුද්ගලයා නිදා වැටේ. නිදීම ද කරයි. ථීන මිද්ධ දෙක වෙන් වෙන් වූ චෛතසික දෙකක් වුව ද ඇති වන කල්හි එක් සිතේ ම එකට ඇති වන ධර්ම දෙකකි. ථීනයෙන් තොර ව මිද්ධය හෝ මිද්ධයෙන් තොරව ථීනය හෝ කිසි කලෙක නූපදී. එද මේ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් දේශනය කිරීමේ හේතුවක් හැටියට සැලකිය හැකිය. කෘත්‍ය වශයෙන් හා උත්පත්ති හේතු වශයෙන් ද විරුද්ධ ධර්ම වශයෙන් ද එකිනෙකට සමාන බැවින් ථීනමිද්ධ දෙක එක් නීවරණයක් කොට දේශනා කරන ලදැයි කියනු ලැබේ. අලස බවට පැමිණවීම ථීනමිද්ධ දෙක්හි ම කෘත්‍ය ය. ඒ දෙක ම උපදිනුයේ තන්දි විජම්භිතා යන හේතු නිසා ය. ඒ දෙක ම වීර්‍ය්‍යයට විරුද්ධ ය. මෙසේ ථීනමිද්ධ දෙක කෘත්‍ය වශයෙන් හා උත්පත්ති හේතු වශයෙන් ද විරුද්ධ ධර්ම වශයෙන් ද සමාන වේ.

උද්ධච්චකුක්කුච්ච නීවරණ යන මෙහි ද උද්ධච්චය කුක්කුච්චය කියා ධර්ම දෙකකි. උද්ධච්චය යට ත්‍රිකනිර්දේශයේ විස්තර කරන ලද්දේ ය. කුක්කුච්ච යනු කළ නො කළ පව් පින් සම්බන්ධයෙන් ඇති වන පසු තැවීම ය. පව් කරන අවස්ථාවේදී පාපකාරීන්ට එය මිහිරි ය. එසේ පව් කළවුන්ට පසු කාලයේ දී දහම් ඇසීම් ආදියෙන් එහි දෝෂය, එයින් තමන්ට විය හැකි නපුර දැන ගැනීමෙන් මා විසින් මෙනම් පාපයක් කරනු ලැබීය යි කළ පාපය ගැන සිත් තැවුලක් ඇති වේ. ඒ කුක්කුච්ච ය. කැපය නිරවද්‍යය ය යන හැඟීමෙන් ඇතැම් වරදවල් කළ පැවිද්දන්ට ද එය දැන ගත් පසු ඒ ගැන කුක්කුච්චය ඇති වේ. ඇතැම්හු ශක්තිය ඇති ධනය ඇති කාලයේ කිසි පින්කමක් නො කොට ප්‍ර‍මාදයෙන් කාලය ගත කොට මහලු වයසට පැමිණ දුබල වූ කල්හි දැන් මට මරණයට ළංව ඇත්තේ ය. මා විසින් නොයෙක් සපන්කම් කර ඇතත් පරලොවට පිහිට වන දෙයක් කර නැත. මාගේ ජීවිතය හිස්ය. මට මරණින් මතු අපායට යන්නට සිදුවිය හැකි ය කියා පසු තැවෙති. එය කුක්කුච්ච ය. කුක්කුච්චය කුශලයක් නො ව මරණින් මතු අපායෝත්පත්තියට හේතු වන අකුශලයෙකි. කුක්කුච්චය නිසා අතීතයේ කොට අමතක වී තුබූ පව් කම්වලට ද පණ නැගේ. කෙනකුට අන්තිම කාලයේ ද පරලොවට පිහිට වන පින් කිරීමට අවකාශ ඇත. ඒ කාලයේ උද්ධච්චකුක්කුච්චයන් නැඟී සිටිය හොත් පුද්ගලයාගේ සිත එයට නො නැමේ. එහෙයින් මෙය නීවරණයක් වෙයි. භාවනාවෙහි යෙදෙන අයට ද උද්ධච්ච කුක්කුච්චයන් නැඟී සිටිය හොත් සමාධිය හා ප්‍ර‍ඥාව දියුණු කිරීම දුෂ්කර වේ. එබැවින් ද මෙය නීවරණයක් ය යි කිය යුතු ය.

කුක්කුච්චය සැම කල්හි ඇති වන්නේ උද්ධච්චය සමග ම ය. උද්ධච්චය කුක්කුච්චයෙන් තොර ව ද ඇති වේ. නීවරණයක් වශයෙන් ගණන් ගත යුත්තේ උද්ධච්ච කුක්කුච්ච දෙක එක ම ඇති වන කල්හි ය. මේ ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් වදාරා ඇත්තේ ද කෘත්‍ය හේතු ප්‍ර‍තිපක්‍ෂ ධර්මයන්ගේ වශයෙන් ඒ දෙක සමාන වන බැවිනි. උද්ධච්ච කුක්කුච්ච දෙකින් ම කරන්නේ සිත නො සන්සුන් කිරීමය. දෙකට ම හේතු වන්නේ ඤාති ව්‍යසනාදිය ගැන කල්පනා කිරීම ය. මේ ධර්ම දෙක ම සමථයට විරුද්ධය. මෙසේ කෘත්‍ය හේතු ප්‍ර‍තිපක්‍ෂ ධර්මයන්ගේ වශයෙන් සම වන බැවින් උද්ධච්ච කුක්කුච්ච යන චෛතසික ධර්ම දෙක එක් නීවරණයක් වශයෙන් වදාරා ඇත්තේ ය.

විචිකිච්ඡා නීවරණ යනු බුද්ධාදීන් ගැන ඇති වන සැකය ය. විචිකිච්ඡාව ත්‍රික නිර්දේශයේ විචිකිච්ඡාසඤ්ඤෝජන යන නමින් විස්තර කර ඇත්තේ ය. විචිකිච්ඡාව හෙවත් සැකය ඇති තැනැත්තා ගේ සිත කුශලයට නැමේ. විචිකිච්ඡාව ඇත්තේ කුශලයන් කළ ද මැනවින් නො කරයි. සැලකිල්ලෙන් නො කරයි. විචිකිච්ඡාවෙහි නීවරණ භාවය ප්‍ර‍කට ය.

කාමච්ඡන්දාදි ඒ ඒ නීවරණයන් ඇතිවීමේ වෙන් වෙන් වූ හේතු ද ඇත්තේ ය. සර්වසාධාරණ හේතුවක් ද ඇත්තේ ය. එනම් අයෝනිසෝමනසිකාරය ය. එබැවින් මෙසේ වදාරන ලදි.

“අයෝනිසෝ භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නෝ චේව කාමච්ඡන්දෝ උප්පජ්ජති. උප්පන්නෝච කාමච්ඡන්දෝ භීය්‍යෝභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නෝ ච ව්‍යාපාදෝ උප්පජ්ජති, උප්පන්නෝච ව්‍යාපාදෝ භීය්‍යෝභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නඤ්ච ථීනමිද්ධං උප්පජ්ජති, උප්පන්නඤ්ච ථීනමිද්ධං භීය්‍යොභාවාය වෙපුල්ලාය සංවත්තති, අනුප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං භීය්‍යෝභාවාය වෙපුල්ලාය සංවත්තති, අනුප්පන්නාච විචිකිච්ඡා උප්පජ්ජති, උප්පන්නා ච විචිකිච්ඡා භීය්‍යෝභාවාය වෙපුල්ලාය සංවත්තති”

තේරුම :

මහණෙනි, වැරදි ලෙස අකාරණානුකූල ව මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්දය උපදී. උපන් කාමච්ඡන්දය දියුණු වේ. නූපන් ව්‍යාපාදය උපදී. උපන් ව්‍යාපාදය දියුණු වේ. නූපන් ථීනමිද්ධය උපදී. උපන් ථීනමිද්ධය දියුණු වේ. නූපන් උද්ධච්චකුක්කුච්චය උපදී. උපන් උද්ධච්චකුක්කුච්චය දියුණු වේ. නූපන් විචිකිච්ඡාව උපදී. උපන් විචිකිච්ඡාව දියුණු වේ.