සඤ්ඤිවාද සොළොස:

මරණින් මතු පවතින රූපවත් ආත්මයක් ඇත. එය සංඥා ඇතියක යනු එක් වාදයෙකි. ධ්‍යාන ලාභීහු කසිණ රූපයාගේ වශයෙන් ආත්මය රූපයක් ඇතියකැයි ද කසිණ නිමිත්තෙහි පැවති සංඥාව අනුව එහි සංඥාව ඇතය යි ද ගනිති. ඇතැම්හු තමන්ගේ කල්පනාව අනුව එසේ පවසති.

මරණින් මතු ද නොනැසී නිත්‍ය ව පවත්වන අරූපි ආත්මයක් ඇත. එය සංඥා ඇතියෙක යනු එක් වාදයෙකි. ඇතැම් ධ්‍යානලාභීහු අරූප සමාපත්ති නිමිත්ත ආත්ම වශයෙන් ද එහි පැවති සංඥාව සංඥා වශයෙන් ද ගෙන එසේ කියති. නිගණ්ඨාදීහු කල්පනා මාත්‍රයෙන් ද එසේ කියති.

මරණින් මතු රූපවත් වූ ද, අරූපී වූ ද ආත්මයක් ඇත. එය සංඥා ඇතියක යනු එක් වාදයෙකි. එය රූපාරූප සමාපත්ති දෙවර්ගය ම ලබා ඇතියන්ගේ වාදයෙකි.

රූපය ඇත්තේ ද නො වන නැත්තේ ද නො වන ආත්මයක් මරණින් මතු ඇත. එය සංඥාව ඇතියක යනු එක් වාදයකි.

මරණින් මතු නො නැසී පවත්නා සංඥා ඇති අන්තවත් ආත්මයක් ඇත. අන්ත නැති ආත්මයක් ඇත. අන්තවත් වූ ද, අන්තවත් නො වූ ද ආත්මයක් ඇත. අන්තවත් ද අනන්තවත් ද නො වූ ආත්මයක් ඇත. මෙසේ වාද සතරෙකි.

මරණින් මතු පවත්නා එක් සංඥාවක් ඇති ආත්මයක් ඇත. නොයෙක් සංඥා ඇති ආත්මයක් ඇත. කුඩා සංඥාවක් ඇති ආත්මයක් ඇත. මහත් සංඥාවක් ඇති ආත්මයක් ඇත. මෙසේ වාද සතරෙකි. ධ්‍යානයට සමවන් පුද්ගලයාට ඇත්තේ එක් සංඥාවකි. එක් සංඥාවක් ඇති ආත්මයයි කියනුයේ සමවන් පුද්ගලයාගේ වශයෙනි. ධ්‍යාන නැතියවුන්ට අනේක සංඥා ඇත්තේ ය. නොයෙක් සංඥා ඇති ආත්මයක් පනවන්නේ ධ්‍යාන නැතියවුන්ගේ වශයෙනි. කුඩා සංඥා ඇති ආත්මයක් පනවන්නේ කුඩා කසිණ නිමිත්තක ධ්‍යානයට සමවදින පුද්ගලයාගේ වශයෙනි. මහා සංඥා ඇති ආත්මයක් පනවන්නේ විශාල කසිණ නිමිත්තෙහි ධ්‍යානයට සමවදින පුද්ගලයාගේ වශයෙනි.

ප්‍ර‍ථම ද්විතීය තෘතීය ධ්‍යානයෝ සුඛය සහිත ධ්‍යානයෝ ය. ඒ ධ්‍යානයන් ලබා ප්‍ර‍ථම ද්විතීය තෘතීය ධ්‍යාන භූමිවල උපනුවන් දිවැසින් බලා මරණින් මතු පවතින ඒකාන්තයෙන් සුඛයෙන් යුක්ත ආත්මය පනවති. නරකයෙහි උපනුවන්ට ඇත්තේ නිරන්තර දුකෙකි. ඔවුන් දිවැසින් දැක මරණින් මතු පවත්නා ඒකාන්ත දුක්ඛිත ආත්මයක් ඇතය යි කියති. මිනිස් ලොව උපනුවන් දැක සුවදුක් දෙක ම ඇති ආත්මයක් ඇතය යි කියති. චතුර්ථධ්‍යානය උපේක්‍ෂා සහගත ය. එය ලබා වේහප්ඵලයෙහි උපනුවන් දැක මරණින් මතු පවත්නා උපේක්‍ෂක ආත්මයක්, සුවදුක් දෙකම නැති ආත්මයක් ඇතය යි කියති. මේ සංඥීවාද සොළොස ය.