දෘෂ්ට ධර්ම නිර්වාණ වාද පස:

දුක් නිවීම වූ නිර්වාණය ඇත්තේ මේ ආත්මයෙහි ම ය. හෙවත් වර්තමාන පඤ්චස්කන්ධයෙහි ම ය යි කීම දෘෂ්ටධර්ම නිර්වාණවාදය ය. මේ ලෝකයෙහි රිසි පමණ ඉෂ්ට පංචකාමයන් ලබා ඒවායින් ඉන්ද්‍රියයන් පිනවමින් විසීම පරම දෘෂ්ටධර්ම නිර්වාණ යයි කීම එක් දෘෂ්ටධර්ම නිර්වාණ වාදයෙකි. ප්‍ර‍ථම ධ්‍යානයට පැමිණ විසීම පරම දෘෂ්ටධර්ම නිර්වාණය යි කීම එක් දෘෂ්ටධර්ම නිර්වාණ වාදයෙකි. ද්විතීයධ්‍යානයට පැමිණ විසීම පරම දෘෂ්ටධර්ම නිර්වාණය යි කීම එක් දෘෂ්ටධර්ම නිර්වාණවාදයෙකි. තෘතීයධ්‍යානයට පැමිණ විසීම පරම දෘෂ්ටධර්ම නිර්වාණය යි කීම එක් දෘෂ්ටධර්ම නිර්වාණ වාදයෙකි. චතුර්ථධ්‍යානයට පැමිණ විසීම පරම දෘෂ්ටධර්ම නිර්වාණයයි කීම එක් දෘෂ්ටධර්ම නිර්වාණ වාදයෙකි. මේ දෘෂ්ටධර්ම නිර්වාණවාද පස ය.

සඤ්ඤීවාද සොළොසය, අසඤ්ඤීවාද අටය, නේවසඤ්ඤීනාසඤ්ඤීවාද අටය, උච්ඡේදවාස සතය, දෘෂ්ටධර්ම නිර්වාණ වාද පසය යන මේ දෘෂ්ටි වාද සිවුසාළිස සංසාරයාගේ අපර කොට්ඨාසය හා සම්බන්ධ දෘෂ්ටීන් වන බැවින් අපරන්තානු දෘෂ්ටීහු නම් වෙති. පූර්වන්තානු දෘෂ්ටි අටළොස හා අපරන්තානු දෘෂ්ටි සිවු සාළිස එකතු කළ කල්හි දෙසැටක් වේ. ඒ බ්‍ර‍හ්මජාලයෙහි වදාරා ඇති මිථ්‍යා දෘෂ්ටි දෙසැට ය.

ද්වාෂෂ්ටි දෘෂ්ටි නිර්දේශය නිමියේ ය.

_________