51. හීනෝ හමස්මීති මානෝ

මම ජාති ගෝත්‍ර‍ ධනාදියෙන් අන්‍යයන්ට හීනය කියා තමා පහත් කොට සලකන, සිතන ස්වභාවය ය. මේ මාන තුනට පිළිවෙලින් සෙය්‍යමානය, සදිසමානය, හීනමානය යන නම් කියනු ලැබේ. මානය ලෝභ ද්වේෂයන් තරම් නපුරු ක්ලේශයක් නො වේ. එය පුද්ගලයාගේ දියුණුව පිරිහීම යන දෙකට ම හේතු වන පින් පව් දෙකට ම හේතුවන ක්ලේශයකි. සෙය්‍යමාන සදිසමානයෙන් ඇතියෝ ආත්ම ගෞරවය ඇත්තෝ ය. තමන්ගේ ගෞරවය රැක ගැනීමේ අදහසින් උගෙනීම් ධන සැපයීම් ආදියෙහි යෙදී: සිටි තත්වයට වඩා උසස් තත්ත්වයට ඔවුහු පැමිණෙති. ආත්ම ගෞරවය රැක ගත යුතු බැවින් නීච ක්‍රියාවලින් පව්කම් වලින් වැළකෙති. අන්‍යයන්ගේ යහපත පිණිස වැඩ කරති. දානාදී පින්කම් කෙරෙති. තත්ත්වයෙන් උසස්ව සිටින බොහෝ දෙනෙකුන් නීච ක්‍රියා නො කරන්නේත්, පව්කම් වලින් වැලකී සිටින්නේත්, අන්‍යයන්ගේ යහපත සඳහා වැඩ කරන්නේත්, පින්කම් කරන්නේත් ආත්ම ගෞරවය රැක ගැනීමේ අදහසිනැයි කිය යුතුය. හීනමානය ඇතියහුට රැක ගැනීමට ගෞරවයක් නැත. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ හීනත්වය ගැන කලකිරී ඉන් මිදෙනු පිණිස මහෝත්සාහයෙන් ඉගෙනීමෙහි, ධනය සැපයීමෙහි, පින්කම්හි යෙදෙති. පව්කමින් වළකිති. එසේ කිරීමෙන් හීනමානය නිසා ඔවුහු දියුණු වෙති. එසේ දියුණු වූවන් අද ලෝකයේ බොහෝ දෙනෙකුන් ඇති බව කිය හැකිය. අධික වූ කල්හි හීනමානය ද පුද්ගලයා මත් කරන ක්ලේශයකි. එයින් මත් වූවහුට ජීවිතය ද එපා වේ. විභාග වලින් සමත් නො වීම, රැකියා නැති වීම, රටට මුහුණ දිය නොහෙන නීච ක්‍රියා තමා අතින් සිදු වීම යන මේ කරුණුවලින් ඇතැමුන් දිවි නසා ගන්නේ ඔවුනට ඇතිවුණු හීනමානය නිසා ය. හීනමානය ඇතියහුට රැකගතයුතු ආත්ම ගෞරවයක් නැත. එබැවින් ඔහු වුවමනා වුවහොත් කිනම් නීච ක්‍රියාවක් වුව ද කරයි. කිනම් දරුණු පවක් වුව ද කරයි. එයින් ඔහු වඩ වඩාත් පිරිහී මරණින් මතු අපායට පැමිණේ.