නව ආඝාත වත්ථූනි:

1. අනත්ථං මේ අචරීති ආඝාතෝ ජායති.

2. අනත්ථං මේ චරතීති ආඝාතෝ ජායති.

3. අනත්ථං මේ චරිස්සතීති ආඝාතෝ ජායති.

4. පියස්ස මේ මනාපස්ස අනත්ථං අචරි.

5. අනත්ථං චරති.

6. අනත්ථං චරිස්සතීති ආඝාතෝ ජායති.

7. අප්පියස්ස මේ අමනාපස්ස අත්ථං අවරි.

8. අත්ථං චරති.

9. අත්ථං චරිස්සතීති ආඝාතෝ ජායති.

ආඝාත යනු ක්‍රෝධය ය. මොහු මා හට පෙර අනර්ථ කෙළේ ය යි ආඝාතය ඇති වේ. මොහු මා හට දැන් අනර්ථ කෙරේය යි ආඝාතය ඇති වේ. මොහු මතු මට අනර්ථ කරන්නේ ය යි ආඝාතය හට ගනී. තමාගේ දෙයක් සොරා ගත් එකකු තමාට අවමානයක් කළ එකකු තමාට පහර දුන් එකකු තමාට විරුද්ධව සාක්ෂි දී ඇතියකු යම්කිසි කරුණක දී තමාට විරුද්ධව ක්‍රියා කර ඇතියකු සිහි වන කල්හි දකින කල්හි මොහු මට අනර්ථ කර ඇතියෙකැයි ආඝාතය උපදී. තමා සපා කෑ සුනඛයකු සර්පයකු ගොවිතැන පාළු කළ ගවයකු මීයකු දකින සිහි වන විට තිරිසන් සතුන් ගැන ද ආඝාතය ඇති වේ. වරද කරන අවස්ථාවෙහි ආඝාතය ඇති වීම ප්‍ර‍කට ය. මොහු අනාගතයේ මට අනර්ථ කරන්නේ ය කියා ආඝාතය ඇති වීම මඳ ය. අතීතයේ ඇතැම් රජුන් මොවුන් දියුණු වුවහොත් මා මරනු ඇතැයි සිතා ඇතැම් දරුවන් මරා දැමූ බව අතීත කතා වල දක්නා ලැබේ. ඒ මතු අනර්ථ කරන්නේය කියා ඇති වන ආඝාතය ය. ඇතැම් බලවත්හු මොවුන් දියුණු වුවහොත් අපට කරදර කරනු ඇතය යි අන්‍යයන් ගේ දියුණුවට බාධා කරති. එය අනාගතයේ අරන්ථ කරනු ඇත ය යි ඇතිවන ආඝාතය ය. ඇතැම්හු මොවුන් වැඩුණ හොත් අපට කරදරයක් වන්නේය යි බලු බළල් පැටවුන් විනාශ කරති. එය අනාගතය සම්බන්ධයෙන් ද ඇති වන ආඝාතය ය.

මාගේ ප්‍රියමනාප පුද්ගලයන්ට මොහු අනර්ථ කෙළේ යයි ද ආඝාතය ඇති වේ. මාගේ ප්‍රියමනාප පුද්ගලයන්ට මොහු අනර්ථ කරයි, මතු කරන්නේ ය යි ආඝාතය ඇති වේ. ප්‍රිය පුද්ගලයෝ නම් අඹු දරු සහෝදරාදීහු ය.

මාගේ සතුරන්ට මොහු උපකාර කෙළේ ය, දැනට කරන්නේ ය, මතු ද කරන්නේ ය යි ආඝාතය හට ගනී. මේ නව විධ ආඝාත වස්තූහු ය.