තමන්ට වුවමනා දෙය ගිහියන්ගෙන් කෙළින්ම ඉල්ලීමක් නො කොට එය ලබා ගැනීම පිණිස කයින් හෝ වචනයෙන් හෝ යම්කිසි නිමිත්තක් දැක්වීම නේමිත්තිකතා නම් වේ. නේමිත්තිකතාව පිළිබඳව විභංග අටුවාවෙහි එන කථාවක් මෙසේ ය.
එක් ජාතක භාණක භික්ෂුවක් දිනක් වැළඳීමේ බලාපොරොත්තු-වෙන් එක් උපාසිකාවකගේ නිවසකට ඇතුළු වී හිඳ ගත්තේ ය. භික්ෂුවට සංග්‍රහ කිරීමට කැමති නො වූ උපාසිකාව ‘අද උයන්නට දෙයක් නැත’ යයි කියමින් සහල් සෙවීමට යන ආකාරය දක්වා සමීප ගෙයකට ගියා ය. භික්ෂුව ඒ අතර ගෙට ඇතුළු වී බලනුයේ ගෙය තුළ එක් තැනක උක් දණ්ඩකුත් භාජනයක සකුරුත් කූඩයක ලුණු මාලු පෙත්තකුත් සැළියක සහලුත් කළයක ගිතෙලුත් තිබෙනු දැක කිසිවක් නොදන්නාක් මෙන් එළියේ වාඩි වී හුන්නේ ය. උපාසිකාව ‘අද සහල් ටිකක්වත් ලබා ගන්නට නො පුළුවන් වී ය’ යි කියමින් ගෙට ආවාය. එකල්හි භික්ෂුව “උපාසිකාවෙනි, අද දානය හරි නො යන බව මා කළින් ම දැන ගත්තා ය. අතර මගදී නිමිත්තක් දුටුවෙමි” යි කීය. උපාසිකාව විසින් “ස්වාමීනි, ඒ කුමක්දැ”යි ඇසූ කල්හි “මම මගදී අර කවුළුව සමීපයේ ඇති උක්දණ්ඩ වැනි සර්පයකු දුටිමි, ඌ පලවා හැරීමට ගැසීමට දෙයක් වටපිට බලන කල්හි අර භාජනයේ ඇති සකුරු කැට වැනි මැටි දැක, ඒවායින් ඌට ගැසුවෙමි. ඌ පෙනය කළේය. උගේ පෙණය අර කූඩයේ ඇති ලුණු මාලු පෙත්ත වැනිය. උගේ දත් අර සැළියේ ඇති සහල් ඇට වැනිය. උගේ කටින් හෙලූ කෙළ අර සැළියේ ඇති ගිතෙල් වැනිය’යි කීය. උපාසිකාව “මේ මහණ රැවටිය හැකි කෙනකු නො වෙති”යි උක් දණ්ඩ දී බත් පිස ලුණුමාලු සකුරු ගිතෙල් සමග භික්ෂුවට දුන්නා ය. එසේ රවටා ප්‍රත්‍යය ලබන ස්වභාවය නේමිත්තිකතා නම් ක්ලේශය ය.