31. කම්මාරාමතා
32. හස්සාරාමතා
33. නිද්දාරාමතා
34. සංඝණිකාරාමතා
35. සංසග්ගාරාමතා
36. පපඤ්චාරාමතා
කම්මාරාමතාදි මේ ධර්ම සය භික්ෂූන්ගේ පරිහානියට හේතු ය. කීර්ති ප්‍රශංසා ලැබීම, බොහෝ ප්‍රත්‍යය ලැබීම, බොහෝ දායකයන් ඇතිවීම, බොහෝ විහාර බොහෝ කෙත්වතු ලැබීම, උපාධි ලැබීම, තනතුරු ලැබීම මේ ශාසනයෙහි භික්ෂුවගේ දියුණුව නොවේ. භික්ෂුවගේ දියුණුව නම් ශීලය සම්පූර්ණ කිරීම, සමථ විදර්ශනාවන්හි යෙදී ධ්‍යානාභිඥා මාර්ගඵල ලැබීම යන මේවාය. අර්හත්වයට පැමිණීම දියුණුවේ අන්තිම ය. නිද්දාරාමතාදි ධර්ම ඇතියවුන්ට ඒ දියුණුවට නො පැමිණිය හැකි ය. ඒවා ඇති භික්ෂුව ධ්‍යානාදි උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගෙන් පිරිහෙන්නේ ය.
කම්මාරාමතා යනු විහාර, චෛත්‍ය, ධර්මශාලා ආවාස ආදිය කිරීමෙහි හා සිවුරු කිරීම් ආදි නොයෙක් කර්මාන්තයන්හි යෙදී සිටීමට කැමති බව ය. කර්මාන්තයන් කිරීමෙන් කරවීමෙන් ම කාලය ගත කරන බව ය. අලස ව නිකම් ම කාලය ගත කිරීමට වඩා කුශල පක්‍ෂයට අයත් කර්මාන්තයන්හි යෙදීම යහපත් බව කිය යුතු ය. එය උත්තරී මනුෂ්‍ය ධර්මයන්ගෙන් පිරිහීමට හේතුවකි.
හස්සාරාමතා යනු තිරශ්චීන කථාවන්හි යෙදී විසීමට කැමති බව ය. ඒවායේ යෙදීමට කාලය ගත කරන බව ය. ධර්ම කථාවෙහි යෙදීම භික්ෂුවගේ දියුණුවට හේතු වේ.
නිද්දාරාමතා යනු නිදීමට කැමති බව ය. දවසෙන් වැඩි කාලයක් අලසකමින් නින්දෙන් ගත කරන බව ය. පමණ ඉක්මවා නිදන ස්වභාව ගිහි පැවිදි කාහටත් ලෞකික ලෝකෝත්තර දෙපක්ෂයෙන් ම පිරිහීමට හේතුවකි. මේ ශාසනයෙහි භික්ෂූන්ට නියමිත ජාගරියානුයෝග නම් ප්‍රතිපදාවක් ඇත්තේ ය. එනම් දවල් කාලය හා රාත්‍රියේ ප්‍රථම පශ්චිම යාම දෙක ද නො නිදා සක්මනින් හා හිඳීමෙන් ගත කිරීම ය. පෙර විසූ උත්සාහවත් ඇතැම් මහ තෙරවරුන් බොහෝ අවුරුදු ගණන් සම්පූර්ණයෙන් ම නිදීමෙන් වැළකී විසූ බව ඇඳක පිට තැබීම නො කළ බව සක්කපඤ්හ සූත්‍ර අටුවාවෙහි සඳහන් ව ඇත්තේ ය.
සංගණිකාරාමතා යනු බොහෝ දෙනා හා එක් ව විසීමෙහි ඇලීම ය. සංගණිකාරාමතාව සකල සත්ත්වයන්ට පිහිටා ඇති ස්වභාවයකි. සත්ත්වයනට හුදකලා වාසය අප්‍රිය ය. එ බැවින් මිනිසුන් තබා තිරිසන්හු ද අන්‍ය සත්ත්වයන්ට එක් වී සමූහ වශයෙන් වෙසෙති. එය ලෞකික පක්‍ෂයෙන් පරිහානියට කරුණක් නො ව දියුණුවට කරුණෙකි. ලෝකෝත්තර පක්ෂයේ දියුණුව ලැබීමට නම් එය බාධක ය. එ බැවින් පැවිද්දෝ ජන ශූන්‍ය ස්ථානවල හුදකලාව වෙසෙති.
සංසග්ගාරාමතා යන මෙහි සංසර්ගය: දර්ශන සංසර්ගය, ශ්‍රවණ සංසර්ගය, කායසංසර්ගය, සමුල්ලපන සංසර්ගය, සම්භෝග සංසර්ගය යි පඤ්ච ප්‍රකාර වේ. දර්ශන සංසර්ගය යනු දැකීමෙන් ඇති වන රාගය ය. එයට නිදසුන් වශයෙන් දක්වා ඇති කථාවක් මෙසේ ය:- ලක්දිව කාලදීඝ නම් ගමට පිඬු පිණිස ගිය කැළණි වෙහෙර වැසි තරුණ භික්ෂුවක් දැක ඒ ගමෙහි එක් තරුණ කතකට බලවත් රාගය ඇති විය. ඕ කිසි උපායකින් ඒ භික්ෂුව ලබා ගත නොහී කලුරිය කළා ය. පසු දිනක ඒ කත හැඳ සිටි වස්ත්‍රයෙන් කොටසක් දුටු ඒ භික්ෂුවට ද බලවත් රාගය ඇති වී “මේ වස්ත්‍රය හැඳ සිටි කත හා එක් ව විසීමට නො ලැබිණැයි” හට ගත් ශෝකයෙන් ඇති වූ කම්පනයෙන් ඒ භික්ෂුව ද කලුරිය කළේ ය. දර්ශන සංසර්ගය ඒ දෙදෙනාගේ ම මරණයට හේතු විය.
ශ්‍රවණ සංසර්ගය යනු යමෙකුගේ අනුන් කියන රූප සම්පත්තිය ඇසීමෙන් හෝ තමා ම කරන හසිත ලපිතාදි ශබ්දය ඇසීමෙන් හෝ හටගන්නා රාගය ය. එයට නිදසුන් වශයෙන් පඤ්චග්ගල නම් ලෙණ විසූ තරුණ පැවිද්දකුගේ කථාවක් දක්වා ඇත්තේ ය. ඒ භික්ෂුව ධ්‍යාන ලබා අහසින් යමින් සිටියෙකි. දිනක ඒ භික්ෂුව අහසින් යනුයේ විලක නා මල් පැළඳ දැරියන් පස් දෙනකු ද සමග මහ හඬින් ගී කියමින් සිටි කතකගේ ගී හඬ අසා රාගය ඉපදී ධ්‍යානයෙන් පිරිහී බිම පතිත විය.
කාය සංසර්ග යනු ඔවුනොවුන්ගේ ශරීර ස්පර්ශයෙන් හට ගන්නාන රාගය ය. එයට නිදර්ශන වශයෙන් ධර්ම දේශක තරුණ භික්ෂුවක ගේ කථාවක් දක්වා ඇත. එක් දවසක් ඒ තරුණ භික්ෂුව මහා විහාරයෙහි දහම් දෙසුමක් කෙළේ ය. දහම් ඇසීමට බොහෝ ජනයා පැමිණියහ. රජතුමා අන්තඃපුර ස්ත්‍රීන් සමග පැමිණියේ ය. ඒ භික්ෂුවගේ රූපයත් හඬත් නිසා රාජකුමාරිකාවකට බලවත් රාගය උපන. ඇය දැක භික්ෂුවට ද එසේ ම රාගය උපණ. ඔවුන්ගේ ප්‍රකෘතිය වෙනස් විය. රජතුමා ඒ බව දැන ඒ දෙදෙනා තිරයකින් ආවරණය කරවී ය.
ඔවුහු ආවරණය තුළ ඔවුනොවුන් වැළඳ ගත්හ. බලවත් රාගාග්නියෙන් දැවී ඒ දෙදෙන එතැන ම මළහ. තිරය ඉවත් කොට බැලූ කල්හි දෙදෙනා ම මැරී සිටිනු දක්නා ලදි.
ඔවුනොවුන් කථා කිරීමෙන් හටගන්නා රාගය සමුල්ලපන සංසර්ගය ය. ඔවුනොවුන්ගේ වස්තූන් පරිභෝග කිරීමෙන් හටගන්නා රාගය සම්භෝග සංසර්ගය ය. ඒ දෙකට ම නිදර්ශන වශයෙන් එදෙකින් ඇති වූ රාගයෙන් පාරාජිකාපත්තියට පැමිණි භික්ෂුවකගේ හා භික්ෂුණියකගේ කථාවක් දක්වා ඇත. දුටුගැමුණු රජතුමා මිරිසවැටී මහා විහාර පූජෝත්සවයේ දී උභය සංඝයාට ආරාධනා කොට මහා දානයක් දිණ. එහි දී උණු කැඳ පිළිගැන් වූ කල්හි පාත්‍රය තබා ගැනීමට ආධාරයක් නැති ව සිටි සාමණේර නමකට එක් සාමණේරියක් පාත්‍රය තබා ගැනීම සඳහා වළල්ලක් දී කථා කළාය. ඒ දෙදෙනා පසු කාලයේ උපසපන් වී සැටවස් පිරුණු පසු පරතෙරට ගියාහු ය. එහි දී ඔවුනොවුන් මුණ ගැසී කථා කරන්නාහු එදා මිරිසවැටි විහාර පූජෝත්සවයේ දී කළ කථාව සිහි වී හටගත් රාගයෙන් සිකපද ව්‍යතික්‍රමණය කොට දෙදෙන ම පාරාජිකාවට පත් වූහ. මේ පඤ්ච ප්‍රකාර සංසර්ගයන්හි යෙදෙන බව “සංසග්ගාරාමතා” නම් වේ. (මේ කථා සුත්තනිපාතට්ඨකථාවෙන් ගන්නා ලදි.)
සංසාරය දීර්ඝ කරන බැවින් පපඤ්ච නම් වූ තෘෂ්ණා මාන දෘෂ්ටි යන ධර්ම තුනෙහි යෙදීම, ඒවා ස්ව සන්තානයෙහි පැවැත්වීම පපඤ්චාරාමතා නම් වේ.