61. සස්සතෝ ලෝකෝ
62. අසස්සතෝ ලෝකෝ
63. අන්තවා ලෝකෝ
64. අනන්තවා ලෝකෝ
65. තං ජීවං තං සරීරං
66. අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං
67. හෝති තථාගතෝ පරම්මරණා
68. න හෝති තථාගතෝ පරම්මරණා
69. හෝති ච න හෝති ච තථාගතෝ පරම්මරණා
70. නේව හෝති න නහෝති තථාගතෝ පරම්මරණා
සස්සතෝ ලෝකෝ යන මෙහි ලෝකයයි කියනුයේ පඤ්චස්කන්ධය ය. පඤ්චස්කන්ධ සංඛ්‍යාත ලෝකය ශාස්වතය හෙවත් නිත්‍යය, ස්ථිරය, සර්වකාලිකය යි ගැනීම එක් දෘෂ්ටියෙකි. ලෝකය හෙවත් සත්ත්වයා අසාස්වතය මරණින් සිඳෙන්නේ ය යි ගැනීම එක් දෘෂ්ටියෙකි. වට්ටියක් පමණ කුඩා කසිණයක ධ්‍යානයට සමවදින පුද්ගලයාට සමාපත්තිය තුළ පැවති රූපාරූප ධර්මයන් ආත්මය ය යන හැඟීමක් ඇති වේ. එයින් ඔහුට කසිණ පරිච්ඡේදය අනුව ඒ ආත්මය අන්තවත්ය, හෙවත් පරිච්ඡේද සහිතය යන හැඟීම ඇති වේ. එය අන්තවා ලෝකෝ යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. එය ශාස්වත දෘෂ්ටිය ද වේ. උච්ඡේද දෘෂ්ටිය ද වේ. කසිණ නිමිත්ත මහත් කොට වඩා මහත් වූ කසිණ නිමිත්තෙහි ධ්‍යානයට සමවදින පුද්ගලයා ඒ සමාපත්තිය තුළ පවත්නා රූපාරූප ධර්මයන් ආත්ම වශයෙන් ගෙන මහත් වූ කසිණ නිමිත්ත අනුව ආත්මය අනන්තය හෙවත් එහි පරිච්ඡේදයක් නැත, අති විශාලය යන දෘෂ්ටියට බැසගනී. මේ අනන්තවා ලෝකෝ යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. එය ශාස්වත දෘෂ්ටිය ද වේ. උච්ඡේද දෘෂ්ටිය ද වේ. ජීවය ශරීරය යන දෙක එකක් වශයෙන් ගැනීම “තං ජීවං තං සරීරං” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. එය උච්ඡේද දෘෂ්ටියකි. ජීවය අනිකෙක. ශරීරය අනිකකැයි ගන්නා දෘෂ්ටිය “අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරං” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. ශරීරය නැසී සිඳී ගිය ද ජීවය ඉතිරි වේ යයි ගන්නා ඒ දෘෂ්ටිය ශාස්වත දෘෂ්ටියෙකි. “හෝති තථාගතෝ පරම්මරණා” යන මෙහි තථාගතය යි කියනුයේ සත්ත්වයාට ය. සත්ත්වයා හෙවත් ආත්මය මරණින් මතු ද නො මැරී ඇතය යි ගන්නා ශාස්වත දෘෂ්ටිය “හෝති තථාගතයෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. සත්ත්වයා මරණින් සිඳී යන්නේය මරණින් ඔබ නැතය යි ගැනීම “න හෝති තථාගතෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. එය උච්ඡේද දෘෂ්ටියෙකි. සත්ත්වයා මරණින් මතු ඇත්තේ ද නැත්තේ ද වේය යනු “හොති ච න හෝති ච තථාගතෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. එය ඒකත්‍ය ශාස්වත දෘෂ්ටියෙකි. මරණින් මතු සත්ත්වයා ඇත්තේ ද නැත්තේ ද නොවේය යි ගන්නා දෘෂ්ටිය “නේව හෝති න හෝති තථාගතෝ පරම්මරණා” යනුවෙන් දැක්වෙන දෘෂ්ටිය ය. එය එක් වාදයකද ස්ථිර පිහිටීමක් නැති ව පැත්තෙන් පැත්තට පනින වික්ෂේප දෘෂ්ටියෙකි.
මේ දශක වශයෙන් දැක්වෙන ධර්ම සැත්තෑව ය.
දශක නිර්දේශය නිමියේ ය.
_______