ඡ අගාරවා:

25. සත්ථරි අගාරවෝ විහරති අප්පතිස්සෝ

26. ධම්මේ අගාරවෝ විහරති අප්පතිස්සෝ

27. සංඝෙ අගාරවෝ විහරති අප්පතිස්සෝ

28. සික්ඛාය අගාරවෝ විහරති අප්පතිස්සෝ

29. අප්පමාදෝ අගාරවෝ විහරති අප්පතිස්සෝ

30. පටිසන්ථාරෙ අගාරවෝ විහරති අප්පතිස්සෝ

ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව රහිත ව යටහත් පැවතුම් නැති ව වාසය කරයි. ධර්මය කෙරෙහි ගෞරව රහිත ව යටහත් පැවැත්ම නැතිව වාසය කරයි. සංඝයා කෙරෙහි ගෞරව රහිත ව යටහත් පැවැත්ම නැති ව වාසය කරයි. ශික්ෂාව කෙරෙහි ගෞරව රහිත ව යටහත් පැවැත්ම නැති ව වාසය කරයි. අප්‍ර‍මාදයෙහි ගෞරව රහිත ව යටහත් පැවැත්ම නැති ව වාසය කරයි. ප්‍ර‍තිසන්ථාරයෙහි ගෞරව රහිත ව යටහත් පැවැත්ම නැති ව වාසය කරයි. මේ සය අගාරවයෝ ය. මේ පුද්ගලාධිෂ්ඨාන දේශනාවෙකි. මෙහි ධර්ම වශයෙන් ඇත්තේ මානය ය.

ශාස්තෘන් වහන්සේ ධරමාන කාලයේ දවසේ තුන් කාලයෙහි උපස්ථානයට නො යාම, ශාස්තෘන් වහන්සේ අනුපාහනව සක්මන් කරන කල්හි ස උපාහන ව සක්මන් කිරීම, ශාස්තෘන් වහන්සේ පහත් තැන සක්මන් කරන කල්හි උස් තැන සක්මන් කිරීම, පහත් තැනක වැඩ සිටින කල්හි උස් තැන විසීම, ශාස්තෘන් වහන්සේ පෙනෙන තැන දෙ උර වසා පොරවා සිටීම, කුඩ ඉසිලීම, වහන් පය ලෑම, නෑම, මලමුත්‍ර‍ පහ කිරීම ශාස්තෘන් වහන්සේට අගෞරව කිරීම ය. ශාස්තෘන් වහන්සේ පිරිනිවීමෙන් පසු දවසට තුන්වර විහාරයට නො යාම, චෛත්‍ය පෙනෙන තැන කුඩ ඉසලා, වහන් පය ලා දෙවුර වසා පොරවා හැසිරීම, මලමුත්‍ර‍ කිරීම, සෑමලු බෝමලුවල කෙළ ගැසීම යන මේවා ද ශාස්තෘන් වහන්සේට අගෞරව කිරීම ය. ධර්මශ්‍ර‍වණයට ඝෝෂා කළ කල්හි යා හැකි ව තිබිය දී නො යාම, ගිය ද ගෞරවයෙන් දහම් නො ඇසීම, ධර්ම දේශනය පවත්වන තැන අන්‍යවිහිත ව සිටීම, කථා කරමින් සිටීම ධර්මයට අගෞරව කිරීම ය. සංඝ ස්ථවිරයන් වහන්සේගෙන් ආරාධනාවක් අවසරයක් නැති ව සඟ මැද දහම් දෙසීම, ප්‍ර‍ශ්න විසඳීම වැඩි මහලු භික්ෂූන්ගේ කයෙහි ගැටෙමින් යාම සිටීම හිඳීම, සඟ මැද දෙවුර වසා සිටීම, කුඩ පාවහන් දරා සිටීම සංඝයාට අගෞරව කිරීමය. සංඝයාට අයත් එක් භික්ෂුවකට වුව ද අගෞරව කිරීම සංඝයාට අගෞරව කිරීමකි. “එක භික්ඛුස්මිංපි අගාරවේ කතේ සංඝෙ අගාරවෝ හෝති” යනු අටුවායි. ත්‍රිශික්ෂාවන් නො පිරීම ශික්ෂාවට අගෞරව කිරීම ය. අප්‍ර‍මාදය ගැන නො සිතීම කුශලයෙහි නො යෙදීම අප්‍ර‍මාදයෙහි අගෞරවය ය. ආමිෂප්‍ර‍තිසන්ථාර ධර්මප්‍ර‍තිසන්ථාර දෙක්හි නොයෙදීම ප්‍ර‍තිසන්ථාරයෙහි අගෞරවය ය.