ඒකත්‍යශාස්වතවාද සතර:

ඒකත්‍යශාස්වතවාදය යනු ඇතැමෙක් ශාස්වතය ඇතැමෙක් අශාස්වතය යන දෘෂ්ටිය ය. මේ ලෝකය කලකදී විනාශ වෙයි. ලෝක විනාශය සිදු වන කල්හි බොහෝ සත්ත්වයෝ ධ්‍යාන වඩා ආභස්සර නම් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදිති. ඔවුහු එහි ප්‍රීතිය ආහාර කොට් ස්වීයාලෝකයෙන් ම හැසිරෙති. දීර්ඝ කාලයක් ගතවීමෙන් පසු නැවත යට යට බ්‍ර‍හ්ම ලෝකයෝ පහළ වෙති. ඒවා සත්ත්වයන්ගෙන් හිස්ය. එසේ පවත්නා අතර එක්තරා බ්‍ර‍හ්මයෙක් ආභස්සරයෙන් ච්‍යුත ව යට බඹලොව උපදී. ඔහු ද ප්‍රීතිය ආහාර කොට ස්වීයාලෝකයෙන් එහි හැසිරෙයි. එහි අන් කිසිවකු නැතිව තනිව වෙසෙන්නා වූ බ්‍ර‍හ්මයාහට මම තනිව වෙසෙමි, තවත් අය මෙහි පැමිණිය හොත් යෙහෙකැ”යි සිතෙහි. එසේ කලක් ගත වන කල්හි ආයුඃක්ෂයයෙන් හෝ කර්මක්ෂයයෙන් හෝ ආභස්සර බ්‍ර‍හ්මලෝකයෙන් ච්‍යුතව ඇතැම් බ්‍ර‍හ්මයෝ එහි වෙති. ඔවුන් දක්නා මුලින් උපන් බ්‍ර‍හ්මයාහට මොවුහු මාගේ සිතීම නිසා මෙහි පහළ වූවෝ ය. මොවුහු මා විසින් මවන ලද්දෝ ය. මම මැවුම්කරු වෙමිය යන අදහස ඇති වේ. පසුව උපන් බ්‍ර‍හ්මයන්ට ද මෙහි මුලින් විසුයේ මොහු ය. අපි මෙහි පසුව උපන්නමෝ ය, අපි මොහු විසින් මවන ලද්දෝ ය යන හැඟීම ඇති වේ. එහි පළමු උපන් බ්‍ර‍හ්මයෝ ආයුෂයෙන් හා වර්ණයෙන් ද ආනුභාවයෙන් ද පසුව උපනුන්ට වඩා උසස් වේ. පසුව උපන්නෝ පළමු බ්‍ර‍හ්මයාට ආයුෂයෙන් වර්ණයෙන් ආනුභාවයෙන් හීනයෝ වෙති. ඔවුහු පළමු බ්‍ර‍හ්මයා එහි සිටියදී ම එයින් ච්‍යුත ව මිනිස්ලොව උපදිති. එසේ උපනුවන්ගෙන් එකෙක් පැවිදිව භාවනා කොට සමාධියක් ලබා ගනී. ඒ සමාධියේ බලයෙන් ඔහු අතීත භවය දැකීමට සමත් වේ. ඉන් ඔබ අතීතය දැකීමට නොසමත් වේ. ඔහු ඒ බ්‍ර‍හ්මලෝකයේ පළමු උපන් බ්‍ර‍හ්මයා ජීවත් වනු දැක මොහු මහා බ්‍ර‍හ්මයා ය, මැවුම්කරු ය, ලෝකය මැවූයේ මොහු ය, මොහු ස්ථිර ය, ඔහු විසින් මවන ලද අපි ස්ථිර නො වෙමු ය, මන්දායුෂ්කයෝ ය, එබැවින් අපි එයින් ච්‍යුත වී මෙහි පැමිණියෙමු ය යි සිත යි. ඉක්බිති ඔහු ඒ හැඟීම ස්ථිර වශයෙන් ගෙන අප මැවූ මහා බ්‍ර‍හ්මයෙක් ඇත, ඔහු නිත්‍ය ය, අපි අනිත්‍ය ය යන ඒකත්‍ය ශාස්වතවාදය ප්‍ර‍කාශ කරයි. මේ පළමුවන ඒකත්‍ය ශාස්වතවාදය ය. මේ ලෝකයත් සත්ත්වයාත් බ්‍ර‍හ්මයා විසින් මවන ලදය යන දෘෂ්ටිය පළමුවෙන් ඇති වූ ආකාරය ය.

ඛිඩ්ඩාපදෝසික නම් දේවකොට්ඨාසයක් ඇත. ඔවුහු ක්‍රීඩාවෙන් සිනාවෙන් බොහෝ කොට වෙසෙන්නෝ ය. ක්‍රීඩාව රස වීමෙන් ඔවුනට සමහර විට ආහාර ගැනීම අමතක වෙයි. එක් වේලක් ආහාර නො ගත හොත් ඒ දෙවියෝ ජීවත් නො වෙති. ඔවුන් ගෙන් ඇතැම්හු ක්‍රීඩාවෙහි ඇලීම නිසා ආහාර ගැනීම අමතක වී දේවත්වයෙන් ච්‍යුත වෙති. එසේ ච්‍යුත ව මිනිස් ලොව උපන්නවුන් අතුරෙන් යම්කිසිවෙක් පැවිදිව භාවනාවෙහි යෙදී පෙර ජාතිය සිහි කිරීමට සමත් චිත්තසමාධියක් ලබා ගනී. ඔහු ඒ සමාධියේ බලයෙන් අතීත ජාතිය දකී. ඉන් ඔබ ජාතීන් දැකීමට සමත් නො වේ. ඔහු ඒ සමාධියේ බලයෙන් එහි වෙසෙන දෙවියන් දකී. ඉක්බිති ඔහු මෙසේ පවසයි. පින්වත්නි, ඛිඩ්ඩාපදෝසික නො වන දෙවියෝ ඇතහ. ඔවුහු බොහෝ වේලා ක්‍රීඩාවෙහි සිනාවෙහි නො යෙදෙන්නාාහ. ඔවුන්ට අමතක වීමක් නො වන්නේ ය. එබැවින් ඔවුහු ඒ දෙව්ලොව ස්ථිර ව වෙසෙන්නාහ. අපි වනාහි ඛිඩ්ඩාපදෝසිකයෝ වෙමු. බොහෝ වේලා ක්‍රීඩාවෙහි යෙදුණා වූ සිහි මුලා වී එයින් ච්‍යුත වීමු. අප ස්ථිර නො වූවෝ ය.

අල්පායුෂ්කයෝ ය, ච්‍යුත වන ස්වභාව ඇතියෝ ය. මේ දෙවන ඒකත්‍ය ශාස්වතවාදය ය.

මනෝපදූසික නම් දේව කොට්ඨාසයක් ඇත. ඔවුහු ක්‍රෝධ චිත්තය නිසා නැසෙන්නෝ ය. ඒ දෙවියෝ සමහර විට ඔවුනොවුන්ට ක්‍රෝධ කොට ක්‍රෝධයෙන් දැවී නැසෙති. සමහර විටෙක එසේ නැසුණු දෙවියන් ගෙන් එකෙක් මේ මිනිස් ලොව ඉපද පැවිදිව භාවනා කොට අතීත ජාතිය සිහි කිරීමට සමත් සමාධියක් උපදවා ගනී. හේ ඉන් ඔබ අතීත ජාති දැකීමට සමත් නො වේ. හේ තමාගේ අතීත භවය දකී. තමා විසූ දෙව්ලොව ජීවත් වන අන්‍ය දෙවියන් දකී. ඉක්බිති හේ මෙසේ පවසයි. පිනවත්නි, මනෝපදූසික නො වන ඔවුනොවුන්ට නො කිපෙන දෙවියෝ ඇතහ. ඔවුහු ඒ දිව්‍ය ලෝකයෙහි නිත්‍ය ව වසන්නාහ. ච්‍යුත නො වන්නාහ. ච්‍යුත වන ස්වභාව ඇති අල්පායුෂ්ක වූ අපි එයින් චුත ව මේ ලෝකයට පැමිණියෙමු ය, අප අස්ථිරයෝ ය. ඒ දෙවියෝ සැම කල්හි එහි වෙසෙන්නෝ ය. මේ තුන් වන ඒකත්‍යශාස්වතවාදය ය.

ආත්මය ගැන කල්පනා කරන්නා වූ ශ්‍ර‍මණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇස කන නාසය දිව කය යයි කියනු ලබන්නා වූ මේ ආත්මය නැසෙන්නේ ය, චිත්තයය මනසය විඥානය යයි කියනු ලබන්නා වූ මේ ආත්මය නො නැසෙන්නේ ය. එය පොළොව මෙන් මහගල්කුළු මෙන් ඉර සඳ මෙන් ස්ථිර ව පවත්නේ ය යි තමාගේ කල්පනාවට වැටහුණු පරිදි ගෙන ඒ දෘෂ්ටිය ප්‍ර‍කාශ කරයි. ඒ සතරවන ඒකත්‍ය ශාස්වත දෘෂ්ටිය ය. එය තර්කීවාද නම් වේ.