මෙතෙකින් මේ ග්‍රන්ථයෙහි සත්සිය පස් පනසක් (755) ධර්මයෝ දක්වන ලදහ. ඒ සියල්ලෝ ම සත්ත්වයන්ගේ සිත් කිලිටි කරන්නවුන් බැවින් ක්ලේශයෝ ය. ඒ ක්ලේශ ධර්ම සත් සිය පනස මෙසේ ය:-
අභිධර්ම පිටකයේ දෙවන ග්‍රන්ථය වන විභංග ප්‍රකරණයේ දී ඛුද්දකවත්ථු විභංගයේ-
ඒකක වශයෙන් දේශිත ධර්ම |
73 |
ද්වික අටළොසෙහි ධර්ම |
36 |
ත්‍රික පන්තිසෙහි ධර්ම |
105 |
චතුස්ක තුදුසෙහි ධර්ම |
56 |
පඤ්චක පසළොසෙහි ධර්ම |
75 |
ෂට්ක තුදුසෙහි ධර්ම |
84 |
සප්තක සතෙහි ධර්ම |
49 |
අෂ්ටක අටෙහි ධර්ම |
64 |
නවක නවයෙහි ධර්ම |
81 |
දශක සතෙහි ධර්ම |
70 |
බ්‍රහ්ම ජාලයේ දෘෂ්ටි |
62 |
එකතුව |
755 |
මේ සත්සිය පස්පනසක් ක්ලේශයෝ සත්ත්වයන් තුළ අතීතයෙහි උපන්නෝ ය. අනාගතයෙහි උපදින්නෝ ය. අතීතයේ උපන් ක්ලේශයෝ උත්පන්න නම් වෙති. මෙතෙක් නූපන් අනාගතයේ උපදින්නට ඇති ක්ලේශයෝ අනුත්පන්න නම් වෙති.
උත්පන්න ක්ලේශ |
755 |
අනුත්පන්න ක්ලේශ |
755 |
එකතුව |
1510 |
සියය පන්සියය දහස යනාදි ප්‍රධාන ගණන්වලට මඳක් අඩු වැඩි දෙයට ද සියය පන්සියය දහසය යි ව්‍යවහාර කරති. ඒ අනුව දසයක් අධික වූ මේ කෙලෙස් එක් දහස් පන්සියයට, අධික ය ගණන් නොගෙන කෙලෙස් එක් දහස් පන්සියය යි කියනු ලැබේ. මේ කෙලෙස් එක් දහස් පන්සියය දක්වන එක් ක්‍රමයෙකි. මේ ක්‍රමය සඳහන් වන්නේ අභිධර්ම ග්‍රන්ථයක් වන ධම්ම සංගණී මූලටීකාවෙහි ය.
“ඛුද්දකවත්ථුවිභංගෙ ආගතේසු ඒකාධිකේසු අට්ඨසු කිලේස සතේසු අට්ඨාරස තණ්හාවිචරිතානි අපනෙත්වා සේසා ද්වාසට්ඨි දිට්ඨියෝ ච උප්පන්නානුප්පන්න භාවේන දිගුණිතානි දියඩ්ඪකිලේස සහස්සානි දසාධිකානි හොන්ති. අප්පංකං පන ඌන මධිකංවා න ගණනූපගං හෝතීති දියඩ්ඪකිලෙස සහස්සන්ති වුත්තං”
(ධම්ම සංගනී මූලටිකා)
කෙලෙස් එක්දහස් පන්සියය දක්වන නොයෙක් ක්‍රම ඇත්තේ ය. ධම්මසංගණී අනුටීකාවෙහි ක්‍රම සයකින් කෙලෙස් එක් දහස් පන්සියය වන සැටි දක්වා ඇත්තේ ය.
ලෝභය දෝසය මෝහය මානය දිට්ඨිය විචිකිච්ඡාවය ථීනය උද්ධච්චය අහිරිකය අනොත්තප්පය කියා ක්ලේශ යන නාමයෙන් ම දේශනය කර ඇති කෙලෙස් දාසයක් ඇත්තේ ය. අන් ක්‍රම සියල්ල ම ඇත්තේ ඒ ක්ලේශ දශය ප්‍රධාන කරගෙන ය.
අනුටීකාවෙහි එන පළමු වන ක්‍රමය මෙසේ ය:
මෝහ අහිරික අනොත්තප්ප උද්ධච්ච ලෝභ දිට්ඨි මාන දෝස ඉස්සා මච්ඡරිය කුක්කුච්ච ථීන මිද්ධ විචිකිච්ඡා යයි මෙසේ ඒකාන්ත අකුශල චෛතසික තුදුසක් ඇත්තේ ය.
සද්ධා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස තත්‍රමජ්ඣත්තතා කායපස්සද්ධි චිත්තපස්සද්ධි කායලහුතා චිත්තලහුතා කායමුදුතා චිත්තමුදුතා කායකම්මඤ්ඤතා චිත්තකම්මඤ්ඤතා කායපාගුඤ්ඤතා චිත්තපාගුඤ්ඤතා කායුජ්ජුකතා චිත්තුජ්ජුකතා, සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව කරුණා මුදිතා පඤ්ඤීන්ද්‍රියයි මෙසේ කුශලාව්‍යාකෘත චෛතසික පස්විස්සක් ඇත්තේ ය.
ඵස්ස වේදනා සඤ්ඤා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර විතක්ක විචාර අධිමොක්ඛ විරිය පීති ඡන්ද කියා කුශලාකුශල අව්‍යාකෘත චෛතසික තෙළෙසක් ඇත්තේ ය.
ඒකාන්තාකුශල චෛතසික තුදුසය, කුශලාව්‍යාකෘත චෛතසික පස්විස්සය, කුශලාකුශලාව්‍යාකෘත චෛතසික තෙළෙසය, සිතය යන මේ නාම ධර්ම තෙපනසය.
පඨවි ආපෝ තේජෝ වායෝ, චක්ඛුපසාද සෝත පසාද, ඝාන පසාද, ජිව්හාපසාද, කායපසාද, රූප සද්ද ගන්ධ රස, ඉත්තිභාව, පුරිසභාව, හදය, ජීවිත, ආහාර, පරිච්ඡේද, රූප, කායවිඤ්ඤත්ති, වචීවිඤ්ඤත්ති, ලහුතා, මුදිතා, කම්මඤ්ඤතා, (උපචය සන්තති) ජරතා අනිච්චතා යන රූප ධර්ම සත්විස්සය යන මේ ධර්ම අසූවෙන් භාවරූප දෙකින් එකක් හැර ඉතිරි සැත්තෑනවය ආධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් ද්විගුණ කළ කල්හි එකසියපනස් අටක් වේ. ඒ එක් සිය පනස් අටක් වූ ධර්මනයන්ගෙන් එක් එක් ධර්මයක් ගැන ම ලෝභාදි ක්ලේශ දශය උපදී. එබැවින් ඒ නාමරූප ධර්ම එකසිය පනස් අට ඉහත දැක්වූ ලෝභාදි ක්ලේශ දසයෙන් ගුණ කළ යුතුය. එසේ කළ කල්හි කෙලෙස් එක්දහස් පන්සිය අසූවක් වේ. අසූව ගණන් නො ගෙන ප්‍රධාන ගණන පමණක් ගෙන කෙලෙස් එක් දහස් පන්සියය යි කියනු ලැබේ. මෙහි රූප සත් විස්සකට ගණන් ගනුයේ උපචය සන්තති දෙක එක් රූපයක් වශයෙන් සැලකීමෙනි.
දෙවන ක්‍රමය:
චෛතසික දෙපනසය, සිතය යන නාමධර්ම තෙපනසය, නිෂ්පන්න රූප අටළොසය, ආකාශ ධාතුවය, උපචය සන්තති දෙක එකක් කොට ලක්ෂණ රූප තුනය යන පන්සැත්තෑ ධර්ම විෂයෙහි දශ ක්ලේශයන් ගෙන් එක එකක්ම ඇති වන බැවින් ලෝභාදි ක්ලේශයෝ එකෙක් පන්සැත්තෑව බැගින් වෙති. එසේ ගැනීමෙන් කෙලෙස් සත්සිය පනසක් වෙති. ඒවා ස්වසන්තානයෙහි ද ඇත. පරසන්තානයෙහි ද ඇත. ස්වසන්තානයෙහි ඇති වන කෙලෙස් සත්සිය පනස ආධ්‍යාත්මික නම් වෙති. පරසන්තානයෙහි ඇති වන කෙලෙස් සත්සිය පනස බාහ්‍ය නම් වෙති. ආධ්‍යාත්මික කෙලෙස් සත්සිය පනස හා බාහ්‍ය කෙලෙස් සත්සිය පනස එකතු කළ කල්හි කෙලෙස් එක්දහස් පන්සියයක් වේ.
තුන්වන ක්‍රමය:
සුඛවේදනා, දුක්ඛවේදනා, සෝමනස්සවේදනා, දෝමනස්ස-වේදනා, උපේක්ඛාවේදනා යන වේදනා පස ඉතිරි චෛතසික එක්පනස, සිතය, රූපාරූප අටළොසය යන විදර්ශනාවට ගත යුතු පන්සැත්තෑ ධර්මය කෙලෙස් දසයෙන් පෙර කී පරිදි වැඩි කළ කල්හි කෙලෙස් සත්සිය පනසක් වේ. ඒවා ආධ්‍යාත්මික බාහ්‍ය දෙකින් ගුණ කළ කල්හි එක් දහස් පන්සියයක් වේ.
සතරවන ක්‍රමය:
- පළමුවන අකුශල සිත වන සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංඛාරික චිත්තයෙහි ලෝභ මෝහ දිට්ඨි උද්ධච්ච අහිරික අනොත්තප්ප යන ක්ලේශ සය ඇත.
- දෙවන සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික චිත්තයෙහි ලෝභ මෝහ දිට්ඨි ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සත ඇත.
- තෙවන සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික චිත්තයෙහි ලෝභ මෝහ මාන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සය ඇත.
- සතරවන සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික චිත්තයෙහි ලෝභ මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සත ඇත.
- පස්වන උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික චිත්තයෙහි ලෝභ මෝහ දිට්ඨි උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සය ඇත.
- සවන උපෙක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංඛාරික චිත්තයෙහි ලෝභ මෝ දිට්ඨි ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සත ඇත.
- සත්වන උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංඛාරික චිත්තයෙහි ලෝභ මෝහ මාන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සය ඇත.
- අටවන උපෙක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංඛාරික චිත්තයෙහි ලෝභ මෝහ මාන ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සත ඇත.
- නවවන දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත අසංඛාරික චිත්තයෙහි දෝස මෝහ උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් පස ඇත්තේ ය.
- දසවන දෝමනස්ස සහගත පටිඝ සම්පයුත්ත සසංඛාරික චිත්තයෙහි දෝස මෝහ ථීන උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සය ඇත්තේ ය.
- එකොළොස්වන උපෙක්ඛා සහගත විචිකිච්ඡා සම්පයුත්ත චිත්තයෙහි මෝහ විචිකිච්ඡා උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් පස ඇත්තේ ය.
- දොළොස්වන උපේක්ඛා සහගත උද්ධච්ච සම්පයුත්ත චිත්තයෙහි මෝහ උද්ධච්ච අහිරික අනොත්තප්ප යන කෙලෙස් සතර ඇත්තේ ය.
මෙසේ අකුශල සිත් දොළොසෙහි කෙලෙස් දෙසැත්තෑවක් ඇත්තේ ය. අකුශල චිත්තයෝ ෂට් ද්වාරයෙහි උපදින්නෝ ය. චක්ෂුද්වාරික අකුශල චිත්තයන්හි කෙලෙස් දෙසැත්තෑව රූපාරම්මණිකයෝ ය. ශ්‍රෝතද්වාරාදියෙහි ඇති වන අකුශල චිත්තයන්හි ක්ලේශයෝ ද ශබ්දාරම්මණික ගන්ධාරම්මණික රසාරම්මණික පොට්ඨබ්බාරම්මණික ක්ලේශයෝ ය. එබැවින් පඤ්චද්වාරික චිත්තයන්හි දෙසැත්තෑව බැගින් ඇති ක්ලේශයෝ පඤ්චාරම්මණයන්ගේ වශයෙන් තුන්සිය සැටක් වේ. මනෝද්වාරික චිත්තයෝ ෂඩාරම්මණය ම අරමුණු කෙරෙති. එබැවින් මනෝද්වාරික අකුශල චිත්තයන්හි ක්ලේශයෝ ෂඩාරම්මණයන්ගේ වශයෙන් සාරසිය දෙතිසක් වේ. එකතු කළ කල්හි සත්සිය අනූ දෙකක් වේ. ඒ කෙලෙස් සත්සිය අනූදෙක ආධ්‍යාත්මික බාහ්‍ය වශයෙන් ඇතිවන බැවින් කෙලෙස් එක් දහස් පන්සිය සූ අසූවක් වේ. සූ අසූව ගණන් නො ගෙන කෙලෙස් එක් දහස් පන්සියයයි කියනු ලැබේ.
පස්වන ක්‍රමය
රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍රෂ්ටව්‍ය යන ආරම්මණ පස හා ඉතිරි රූප වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ යන ස්කන්ධ පස ද යන මේ දශය ආධ්‍යාත්ම බාහ්‍ය දෙකින් ගුණ කළ කල්හි විස්සක් වේ. එයට ප්‍රඥප්තිය එකතු කළ කල්හි ධර්ම එක් විස්සක් වේ. ඒ ධර්ම එක් විස්සෙහි ම ඉහත කී දෙසැත්තෑ ක්ලේශයෝ උපදිති. ධර්ම එක්විස්ස කෙලෙස් දෙසැත්තෑවෙන් ගුණ කළ කල්හි එක් දහස් පන්සිය දොළොසක් වේ. දොළොස ව්‍යවහාරයට නො ගෙන මේ ක්‍රමයෙන් ද කෙලෙස් එක් දහස් පන්සියය යි කියනු ලැබේ.
සවන ක්‍රමය
පළමුවන අකුශල සිත වන සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික චිත්තයෙහි අන්‍යසමාන චෛතසික තෙළෙසය අකුශල සාධාරණ චෛතසික සතරය ලෝභය දෘෂ්ටිය යන මේ එකුන්විසි චෛතසිකයෝ යෙදෙති. සිත ද සමග එහි අකුශල ධර්ම විස්සකි. එසේ ම දෙවන අකුශල චිත්තයෙහි ධර්ම දෙ විස්සක් ද තුන්වන අකුශල චිත්තයෙහි ධර්ම විස්සක් ද සතරවන අකුශල චිත්තයෙහි දෙවිස්සක් ද පස්වන අකුශල චිත්තයෙහි එකුන් විස්සක් ද සවන අකුශල චිත්තයෙහි එක් විස්සක් ද සත්වන අකුශල චිතතයෙහි එකුන් විස්සක් ද අටවන අකුශල චිත්තයෙහි එක්විස්සක් ද නවවන අකුශල චිත්තයෙහි එක් විස්සක් ද දසවන අකුශල චිත්තයෙහි තෙවිස්සක් ද එකොළොස්වන චිත්තයෙහි සොළසක් ද දොළොස්වන චිත්තයෙහි සොළොසක් ද වේ. සියල්ල එක් කළ කල්හි අකුශල ධර්ම දෙසිය සතළිසක් වේ. ඒවා රූපාදි ෂඩාරම්මණයෙහි පවතින බැවින් ෂඩාරම්මණයෙන් ගුණ කළ කල්හි අකුශල ධර්ම එක් දහස් සාරසිය සතළිසක් වේ. සැටක් අඩු වුව ද ඒ අකුශල ධර්ම රාශියට කෙලෙස් එක් දහස් පන්සියය යි කියනු ලැබේ.