පඤ්ච සඤ්ඤෝජනානි:

පඤ්චෝරම්භාගියානි සඤ්ඤෝජනානි:

1. සක්කායදිට්ඨි

2. විචිකිච්ඡා

3. සීලබ්බතපරාමාසෝ

4. කාමච්ඡන්දෝ

5. ව්‍යාපාදෝ

පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤෝජනානි:

6. රූපරාගෝ

7. අරූපරාගෝ

8. මානෝ

9. උද්ධච්චං

10. අවිජ්ජා

ඕර යනු මොබය. උද්ධ යනු උඩය. මේ කාම ලෝකයේ සිට කරන කථාවක් බැවින් කාම ලෝකයට ඕර හෙවත් මොබයයි කියනු ලැබේ. රූපාරූප ලෝකවලට උද්ධ හෙවත් උඩ යයි කියනු ලැබේ. සත්ත්වයාට සසරින් බැහැර වන්නට නො දී එහි බඳින ධර්මයෝ සඤ්ඤෝජන නම් වෙති. ඔවුහු දස දෙනෙකි. ඒවායින් සක්කායදිට්ඨි ආදි පස සත්ත්වයා කාම භවයෙහි බඳින බැවින් ඒවාට ඕරම්භාගිය සඤ්ඤෝජනයයි කියනු ලැබේ. අජ්ඣත්ත සඤ්ඤෝජන යනු ද ඒවාට කියන නමකි. මෙහි දුක නිද්දේසයේ ඒවා අජ්ඣත්ත සඤ්ඤෝජන නමින් දක්වා ඇත. මූලපර්‍ය්‍යාය සූත්‍රයෙහි ද ඒවා අජ්ඣත්ත සඤ්ඤෝජන නමින් දක්වා ඇත්තේ ය.

ඕරම්භාගිය සඤ්ඤෝජන තිබීම බ්‍ර‍හ්මලෝකයේ ඉපදීමට බාධාවක් නොවේ. ඒවා ඇතියෝ ද ධ්‍යාන වඩා බ්‍ර‍හ්ම ලෝක වල උපදිති. එහෙත් ඔවුන් සිටින්නේ කාම බන්ධනය ඇතිව ය. එබැවින් ඔවුහු නැවත කාම ලෝකයට පැමිණෙති. අනාගාමී මාර්ගයෙන් ඕරම්භාගිය සඤ්ඤෝජනයෙන් සිඳ අවසාන කළ අනාගාමී පුද්ගලයෝ නාම ලෝකයෙහි නැවත නූපදිති. උද්ධම්භාගිය සඤ්ඤෝජන නම් වූ රූප රාගාදි පස ඔවුනට ඉතිරි වී ඇති බැවින් ඔවුහු රූපාරූප භවයන්හි බැඳී සිටිති. ඔවුහු මරණින් පසු රූපභව අරූපභව දෙක්හි උපදිති. කාමබන්ධනය සුන් කර ඇති බැවින් කාම ලෝකයට නැවත කිසි කලෙක ඉපදීම් වශයෙන් නො පැමිණෙති. ඔවුනට ඉතිරි වී ඇති රූපරාගාදි සඤ්ඤෝජන පස උද්ධම්භාගිය සඤ්ඤෝජන නම් වේ. කාම භවයෙහි සත්ත්වයා බඳින ප්‍ර‍ධාන සඤ්ඤෝජන කාම රාගය ය. රූපාරූප භවයන්හි බඳින ප්‍ර‍ධාන සඤ්ඤෝජන රූපරාග අරූපරාග දෙකය. විචිකිච්ඡා උද්ධච්චාදීන්ගේ සඤ්ඤෝජන භාවය අප්‍ර‍කට ය. ඒවා සඤ්ඤෝජන වන්නේ කාමරාගාදීන්ට එක්වීම් වශයෙනි.