තදංගප්‍ර‍හාණය:

ඒ ඒ රෝග සුව කිරීමේ ශක්තිය ඇති ඖෂධයන් වෙන වෙන ම ඇතිවාක් මෙන් ඒ ඒ ක්ලේශයන් දුරු කිරීමට සමත් ඒ ඒ පාපයන් දුරු කිරීමට සමත් කුශලයෝ ද වෙන වෙන ම ඇත්තාහ. රෝග බොහෝ ගණනක් සුව කිරීමට සමත් ඖෂධයන් ඇතිවාක් මෙන් බොහෝ කෙලෙසුන් දුරු කිරීමට බොහෝ පව්කම් නැසීමට සමත් කුශලයෝ ද ඇත්තාහ. ඒ ඒ ක්ලේශයට, ඒ ඒ අකුසල කර්මයට විරුද්ධ කුශලයන් ඇති කර ගැනීමෙන් ඒ ඒ ක්ලේශයන් පාපකර්මයන් ඇති වීම වැළැක්වීම තදංග ප්‍ර‍හාණය ය. තදංගප්‍ර‍හාණයන් ගේ සංඛ්‍යාවක් දැක්වීම දුෂ්කර ය. සල්ලේඛ සූත්‍ර‍ය අනුව කියත හොත් තදංග ප්‍ර‍හාණ සිවුසාළිසක් කිය හැකි ය.

සිත රිදෙන වචනවලින් හා අත් පා ආදියෙන් පහර දීමෙන් ද කීර්තිය කැළැල් කිරීමෙන් හා ගෞරව නැති කිරීමෙන් ද, අන්‍යයන්ට පීඩා කරන ස්වභාව ඇතියකු විසින්, “සියල්ලෝම සැපයට කැමැත්තෝ ය. පීඩාවට නො කැමැත්තෝ ය. පීඩා කරන්නහුට ද නො කැමැත්තෝ ය. මා විසින් අන්‍යයන්ට පීඩා කිරීම නුසුදුසු ය, අන්‍යයන්ට යහපතක් ම කළ යුතු යයි” කියා කරුණාව නමැති කුශල ධර්මය ඇති කර ගත හොත් කරුණාව පවත්නා තෙක් කරුණාව නමැති කුශලාංගයේ බලය ඒ පුද්ගලයාගේ සන්තානයෙහි පවත්නා තෙක් ඔහු ගේ සන්තානයෙහි අන්‍යයන්ට හිංසා කරන්නා වූ ද්වේෂ සහගත ඊර්ෂ්‍යා සහගත අකුශල චේතනාවන් හා එයට සම්බන්ධ වන ක්ලේශයෝ නූපදිති. හේ අන්‍යයන්ට හිංසා නො කරයි. මෙසේ අවිහිංසා සංඛ්‍යාත කුශලාංගයෙන් හිංසා චේතනාව හා ක්ලේශයන් දුරු කිරීම එක් තදංග ප්‍ර‍හාණයෙකි.

අනුන්ගේ සම්පත් ඉවසිය නො හෙන අනුන්ගේ සම්පත් හීන වී නැතිවීම ගැන සතුටු වන අනුන්ගේ සම්පත් නැති කිරීමට උත්සාහ කරන පුද්ගලයකු තුළ සත්පුරුෂ සේවන සද්ධර්ම ශ්‍ර‍වණයන් ලැබ නුවණ ලැබී ඊර්ෂ්‍යාවේ දෝෂය දැක පරසම්පත්තිය ගැන සතුටු වන ස්වභාවය වූ මුදිතා නමැති කුශල ධර්මය ඇති වුවහොත් ඉන් පසු එහි බලයෙන් ඔහු තුළ පරසම්පත්තිය ගැන ඊර්ෂ්‍යාව ඇති නො වේ. එසේ මුදිතාව නමැති කුශලාංගයෙන් ඊර්ෂ්‍යා නමැති ක්ලේශය දුරුවීම එක් තදංගප්‍ර‍හාණයෙකි.

ප්‍රාණඝාතය කරන්නකු දහ්ම ඇසීම සත්පුරුෂ සේවනය ලබා ප්‍රාණ වධයේ දෝෂය දැක ප්‍රාණඝාතයෙන් වැළකීම වූ කුශල ශීලය සමාදන් වුව හොත් ඉන්පසු ඔහු ප්‍රාණඝාතයෙන් වළකින්නේ ය. ඔහුගේ සන්තානයෙහි ප්‍රාණඝාත චේතනාව හා එයට සම්බන්ධ ද්වේෂ මෝහාදි ක්ලේශයෝ ඇති නො වෙති. පාණාතිපාතා වේරමණී යන කුශල ශීලාංගයෙන් ප්‍රාණඝාත චේතනාව ඇතුළු ඒ ක්ලේශයන් ඇති නො වීම එක් තදංග ප්‍ර‍හාණයෙකි.

අදින්නාදාන වේරමණී යන කුශල ශීලාංගයෙන් වන අදින්නාදාන චේතනාවගේ හා එයට සම්බන්ධ ක්ලේශයන්ගේ ද කාමේසුමිච්ඡාචාරා වේරමණී යන ශීලාංගයෙන් මිථ්‍යාචාර චේතනාවගේ හා ක්ලේශයන්ගේ ද, අබ්‍ර‍හ්මචරියා වේරමණී යන ශීලාංගයෙන් මෛථුන චේතනාවේ හා ක්ලේශයන්ගේ ද, මුසාවාදා වේරමණී යනාදි ශීලාංගවලින් මුසාවාද චේතනාදියගේ ද ප්‍ර‍හාණය තදංග ප්‍ර‍හාණයෝ ය.

විදර්ශනා වඩන යෝගාවචරයන්ට ඇති වන නාම රූප පරිච්ඡේද ඥානයෙන් සත්කාය දෘෂ්ටිය ප්‍ර‍හාණය වේ. ප්‍ර‍ත්‍යයපරිග්‍ර‍හ ඥානයෙන් අහේතු විෂම හේතු දෘෂ්ටීන්ගේ හා විචිකිච්ඡාවන් ගේ ප්‍ර‍හාණය වේ. කලාපසම්මර්ෂණඥානයෙන් මමය මාගේය යන සමූහ ග්‍ර‍හණයාගේ ප්‍ර‍හාණය වේ. මාර්ගාමාර්ගව්‍යවස්ථා ඥානයෙන් අමාර්ගයෙහි මාර්ග සංඥාව ප්‍ර‍හාණය වේ. සංස්කාරයන්ගේ උත්පාදය දක්නා ඥානයෙන් උච්ඡේද දෘෂ්ටි ප්‍ර‍හාණය වේ. ව්‍යයදර්ශන ඥානයෙන් ශාස්වත දෘෂ්ටිය ප්‍ර‍හාණය වේ. මේ ප්‍ර‍හාණයෝ ද තදංග ප්‍ර‍හාණයෝ ය.