නව සංඛතානි:

73. අස්මීති සංඛතමේතං

74. අහමස්මීති සංඛතමේතං

75. අයමස්මීති සංඛතමේතං

76. භවිස්සන්ති සංඛතමේතං

77. රූපි භවිස්සන්ති සංඛතමේතං

78. අරූපි භවිස්සන්ති සංඛතමේතං

79. සඤ්ඤි භවිස්සන්ති සංඛතමේතං

80. අසඤ්ඤි භවිස්සන්ති සංඛතමේතං

81. නේවසඤ්ඤි නාසඤ්ඤි භවිස්සන්ති සංඛතමේතං

මෙහි සංඛත යනුවෙන් දැක්වෙන්නේ ද ඉහත නවකවල දැක්වුණු නවාකාර මානය ම ය. සංඛත යන වචනයේ තේරුම ප්‍ර‍ත්‍යයන් විසින් ඇති කරන ලදය, ප්‍ර‍ත්‍යයන් නිසා ඇති වන දෙයය යනු යි. මානය ඇති වන්නේ ජාතිය කුලය ගෝත්‍ර‍ය ධනය පිරිවර තනතුරු උපාධි උගත්කම් යනාදි අනේක හේතූන් නිසා ය. එබැවින් එයට සංඛතය යි ද කියනු ලැබේ. මෙහි ඉඤ්ජිත, මඤ්ඤිත, එන්දිත, පපඤ්චිත, සංඛත යන නම් වලින් නවක පසක ම නොයෙක් නම් වලින් මානය ම දේශනා කර ඇත්තේ අනේක හේතූන් නිසා ය. අනේකාකාරයෙන් ඇති වන ඒ මානය තේරුම් ගැනීමට දුෂ්කර සියුම් ක්ලේශයක් වන නිසා ය. එය සියුම් නිසා ම ප්‍ර‍හාණය ද දුෂ්කර ය. සෝවාන් සකෘදාගාමි අනාගාමි මාර්ගයෝ මානය නිරවශේෂයෙන් ප්‍ර‍හාණය කිරීමට සමත් නො වෙති. එය සෝවාන් සකෘදාගාමී අනාගාමී ආර්ය පුද්ගලයන්ට ද ඇත්තේ ය. එය ප්‍ර‍හාණය කිරීමට සමත් වන්නේ අර්හත් මාර්ගය ය. අර්හත් මාර්ගයට පැමිණෙන තුරු මාන නමැති මේ ක්ලේශය පවත්නේ ය.

මේ නවක වශයෙන් දැක්වෙන ක්ලේශ ධර්ම එක් අසූව ය.

නවක නිර්දේශය නිමියේ ය.

_______