16. රාගසංගෝ
17. දෝසසංගෝ
18. මෝහසංගෝ
19. මානසංගෝ
20. දිට්ඨිසංගෝ
සංග යනු පුද්ගලයන් කෙරෙහි හා වස්තූන් කෙරෙහි එල්ලෙන ධර්මයෝ ය. මාගේ බිරියය, මාගේ සැමියා ය, මාගේ දරුවෝ ය, මාගේ මාපියෝ ය, සහෝදරයෝ ය කියා පුද්ගලයන් කෙරෙහි ද මාගේ ගෙය ය, වත්තය, කුඹුරය, වාහනයය, මුදල්ය, ඇඳුම්ය, පැළඳුම්ය යනාදි වශයෙන් වස්තූන්හි ද රාගය එල්ලෙන්නේ ය. යමකු ගැන ද්වේෂය ඇති වූ කල්හි මොහු මාගේ සතුරාය, මොහුට මෙසේ කරන්නට ඕනෑය කියා ද්වේෂය සතුරාගේ කයෙහි එල්ලෙන්නේ ය. මෝහය අනිත්‍ය දුඃඛ අනාත්ම වූ ස්කන්ධයන් නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ගෙන ඒවායේ එල්ලෙන්නේ ය. ඒවා නො හැර ගෙන සිටින්නේ ය. මානය තමාගේ පඤ්චස්කන්ධය උසස් කොට එහි එල්ලෙන්නේ ය. දිෂ්ටිය ද පඤ්චස්කන්ධය ආත්ම වශයෙන් ගෙන එහි එල්ලෙන්නේ ය.
පඤ්ච ඡින්දේ පඤ්ච ජහේ - පඤ්ච චුත්තරි භාවයේ
පඤ්ච සංගාතිගෝ භික්ඛු - ඕඝතිණ්ණෝති වුච්චති.
(ධම්මපද භික්ඛුවග්ග)
තේරුම :-
සත්ත්වයා යට අපාය භූමිවලට ගෙන යන්නා වූ ඕරම්භාගිය සංයෝජන පස පයෙහි බැඳි රැහැනක් ආයුධයකින් සිඳින්නාක් මෙන් සෝවාන් සකෘදාගාමි අනාගාමි යන මාර්ගත්‍රයෙන් සිඳෙන්නේ ය. මතු බ්‍රහ්ම ලෝකයන්ට සත්ත්වයා ගෙන යන්නා වූ උද්ධම්භාගිය සංයෝජනයන් ගෙළ බැඳි රැහැනක් සිඳින්නාක් මෙන් අර්හත් මාර්ග ඥානයෙන් සිඳෙන්නේ ය. උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කරනු පිණිස ශ්‍රද්ධාදි ඉන්ද්‍රිය ධර්ම පස වඩන්නේ ය. රාගාදි පඤ්ච සංගයන් ඉක්ම වූ භික්ෂු තෙමේ චතුරෝඝය එතර කෙළේ යැයි කියනු ලැබේ.