චත්තාරෝ විපරියේසා:

25. අනිච්චෙ නිච්චන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

26. දුක්ඛෙ සුඛන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

27. අනත්තනි අත්තානි සඤ්ඤා විපරියේසෝ චිත්තවිපරියේසෝ දිට්ඨි විපරියේසෝ

28. අසුභෙ සුභන්ති සඤ්ඤා විපරියේසෝ චිත්ත විපරියේසෝ දිට්ඨි විපරියේසෝ.

අනිත්‍ය වූ පඤ්චස්කන්ධය නිත්‍යයයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැනීමක් වැරදි දැකීමක් ඇත්තේ ය. දුක් වූ පඤ්චස්කන්ධය සැපයෙකැයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැනීමක් වැරදි දැකීමක් ඇත්තේ ය. ආත්ම නොව පඤ්චස්කන්ධය ආත්ම යයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැනීමක් වැරදි දැකීමක් ඇත්තේ ය. අසුභ වූ පඤ්චස්කන්ධය සුභ යයි ගන්නා වැරදි හැඟීමක් ඇත්තේ ය. අසුභ වූ පඤ්චස්කන්ධය සුභ යයි ගන්නා වැරදි හැඟීමක් වැරදි දැනීමක් වැරදි දැකීමක් ඇත්තේ ය. මේ විපරියේස සතර ය.

දැන් අපි පැමිණ සිටින්නේ ඉතා ගැඹුරු තේරුම් ගැනීමට දුෂ්කර අවුල් තැනකට ය. විපරියේස යනු දැනට සිංහල අකුරෙන් මුද්‍රිත විභංගප්‍ර‍කරණයේ ඇති ආකාරය ය. එය ඡට්ඨ සංගායනාවේදී සංශෝධනය කොට මුද්‍රිත විභංගප්‍ර‍කරණයේ ඇත්තේ විපරියාස කියාය. අංගුත්තර චතුෂ්කනිපාතයේ ඇත්තේ විපල්ලාස කියා ය. මෙසේ ඒ ඒ පිටපත් වල විපරියේස විපරියාස විපල්ලාස කියා එකම කරුණ තුන් ආකාරයකින් තිබීමත් අවුලකි. මෙය විස්තර කිරීමේ දී අප විසින් විපර්‍ය්‍යාස යන වචනය යොදනු ලැබේ.

මෙහි විපර්‍ය්‍යාසයන් කොටින් දැක්වීමේ දී හැඟීම් යන වචනය යොදා ඇත්තේ සඤ්ඤා යන්න වෙනුවට ය. දැනීම යයි යොදා ඇත්තේ චිත්ත යන්න වෙනුවට ය. දැකීම යයි යොදා ඇත්තේ දිට්ඨි යන්න වෙනුවට ය. විපර්‍ය්‍යාසය යන වචනයෙන් අදහස් කරන්නේ යමක ඇති සැටියට විරුද්ධාකාරයෙන් ගැනීම ය. දික් දෙය කෙටිය කියා ද කෙටි දෙය දිගය කියා ද සතරැස් දෙය වටය කියා ද, වට දෙය සතරැස් ය කියා ද ඇති සැටියට විරුද්ධකාරයෙන් ගැනීම සැලකීම විපර්‍ය්‍යාසය ය. මේ විපර්‍ය්‍යාස සතර තේරුම් ගත හැකි වන්නේ පඤ්චස්කන්ධය හා එයට අයත් ධර්ම වල අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ ලක්ෂණයන් දැන සිටින අයට පමණෙකි. ඒවාත් සමග විස්තරයක් කිරීමට මෙතැන්හි අවකාශ මඳය.

සංඥාවය චිත්තය දෘෂ්ටිය යි විපර්‍ය්‍යාස ධර්ම තුනෙකි. ඒ එක එකක් අනිත්‍ය දුඃඛ අනාත්ම අශුභ යන කරුණු සතර සම්බන්ධයෙන් ඇති වන බැවින් විපර්‍ය්‍යාස දොළොසක් වේ. සංඥා චිත්ත දෘෂ්ටි යන මේ ධර්ම තුන පිළිවෙළින් එකිනෙකට බලවත්ය. මේ විපර්‍ය්‍යාසයන් ඇති වන්නේ මෙසේය. චිත්තය වනාහි සත්ත්ව ශරීරයන්හි හා බාහිර වස්තූන්හි ඇති රූප ධර්මයන් පරමාර්ථ වශයෙන් වෙන් කොට දැකීමට සමත් ධර්මයක් නොවේ. පරමාර්ථ රූප ධර්මයන් ගේ උත්පාද ස්ථිති භංගයන් දැකීමට සමත් එකක් ද නොවේ. චිත්තය දක්නේ එකට බැඳී ඝනව පවත්නා රූප කලාප සමූහයන් එක් එක් දෙයක් ලෙසය. චිත්තයට දැනෙන්නේ පටන් ගත් තැන සිට සමුද්‍ර‍ය දක්වා ගඟක ඇති ජලස්කන්ධය එක දෙයක් ලෙස ය. සවස් කාලයේ දල්වන ලදුව මධ්‍යම රාත්‍රිය දක්වා පවත්නා පහන් සිළුව එක් දෙයක් ලෙස ය. අද පවත්නා වූ ද අවුරුදු ගණනකට පෙර පැවැතියා වූ ද තමාගේ ශරීරය එක් දෙයක් ලෙස ය. උත්පත්තියේ පටන් මරණය දක්වා පවත්නා සිත් පරම්පරාව එක් සිතක් ලෙසය. සිත දක්නේ නාම රූප ධර්මයන් පිළිබඳ වූ සමූහ සන්තති ප්‍ර‍ඥප්ති දෙක ය. එබැවින් සිතට වස්තූන් මිස පරමාර්ථ ධර්ම දැනෙන්නේ නැත. සන්තතිය මිස ඉපදීම් පෙනෙන්නේ නැත. එබැවින් සිත අනිත්‍ය වූ නාමරූප ධර්මයන් නිත්‍ය ඒවා ලෙස දකී. ඒ චිත්ත විපර්‍ය්‍යාසය ය. සිත එසේ ස්කන්ධයන් වරදවා ගත් කල්හි ඒ නාම රූප ධර්ම මමය, සත්ත්වයාය, නැතහොත් සත්ත්වයාගේ සාරය බලන තැනැත්තාය, අසන තැනැත්තාය කියා වරදවා තදින් ගන්නා ස්ථිර වශයෙන් ගන්නා දෘෂ්ටි ඇති වේ. ඒ දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය. සංඥාව දුබලය. එය තමා විසින් ම යම්කිසිවක් නිත්‍යාදි වශයෙන් වරදවා හෝ නිත්‍යාදි වශයෙන් සත්‍ය ලෙස හෝ ගැනීමට සමත් ධර්මයක් නො වේ. පඤ්චස්කන්ධය නිත්‍ය ය යි ගන්නා සිත හා එක්වීමෙන් ද දෘෂ්ටිය හා එක්වීමෙන් ද සංඥාව ද අනිත්‍ය හා නිත්‍ය වශයෙන් ගනී. එසේ ගන්නා සංඥාව, සංඥා විපර්‍ය්‍යාස ය. යම්කිසි කරුණක් ගැන ඇති වූ සංඥාව කලින් දුබල වුව ද කල් යාමෙන් ස්ථිර වී, දුරු කළ නො හෙන තත්ත්වයට පැමිණේ. සත්ත්වයාට සසරින් නො මිදිය හැකිව ඇත්තේ මේ සංඥා චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාසයන් නිසා ය. සත්ත්වයා තුළ ඒවා ඇති තාක් ඔහු සංසාර චක්‍රයේ කැරකෙන්නේ ය. විදර්ශනා භාවනාව ඇත්තේ මේ විපර්‍ය්‍යාසයන් ප්‍ර‍හාණය කිරීම පිණිස ය. විදසුන් වඩා විපර්‍ය්‍යාසයන් ප්‍ර‍හාණය කොට සසර දුකින් මිදෙත්වා!

මේ දොළොස් වැදෑරුම් විපර්‍ය්‍යාසයන් අතුරෙන් අනිත්‍ය දෙය නිත්‍ය යයි ගන්නා සංඥා චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාස තුන ය, ආත්ම නොවන පඤ්චස්කන්ධය ආත්ම යයි ගන්නා සංඥා චිත්ත දෘෂ්ටි විපර්‍ය්‍යාස තුනය, දුඃඛය සුඛයයි ගන්නා දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය, අශුභය ශුභයයි ගන්නා දෘෂ්ටි විපර්‍ය්‍යාසය ය යන විපර්‍ය්‍යාස අට සෝවාන් මාර්ගයෙන් ප්‍ර‍හීණ වේ. දුඃඛය සුඛ යයි ගන්නා සංඥා විපර්‍ය්‍යාසය, චිත්ත විපර්‍ය්‍යාසය, අශුභය ශුභයයි ගන්නා සංඥා විපර්‍ය්‍යාසය, චිත්ත විපර්‍ය්‍යාසය යන මේ විපර්‍ය්‍යාස සතර සෝවාන් පුද්ගලයන්ට ද ඇත්තේ ය. අනිත්‍ය ලක්ෂණය දුඃඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය යන මේ තුනෙන් දුඃඛ ලක්ෂණය සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට දුෂ්කර ලක්ෂණය ය. සෝවාන් පුද්ගලයාට සතර අපායට අයත් ස්කන්ධයන්ගේ දුඃඛ ලක්ෂණය නිරවශේෂයෙන් වැටහී ඇත. එබැවින් ඔහු කිසි කලෙක අපායට නො යයි. මනුෂ්‍ය ලෝක දිව්‍ය ලෝක බ්‍ර‍හ්ම ලෝකවල දුඃඛය සෝවාන් පුද්ගලයාට සර්ව සම්පූර්ණයෙන් වැටහී නැත. ඔහුට ඒවා පිළිබඳ සුඛ දෘෂ්ටිය නැත ද සුඛ සංඥාව සුඛ චිත්තය ඇත්තේ ය. එබැවින් සෝවාන් පුද්ගලයෝ සෙස්සන් මෙන් ම මිනිස් ලොව මිනිස් සම්පත් විඳිති. දෙව්ලොව දිව්‍ය සම්පත් විඳිති. බඹලොව බ්‍ර‍හ්ම සම්පත් විඳිති. අනාගාමීන්ට කාම සම්පත් පිළිබඳ සුඛ සංඥා සුඛ චිත්ත සුඛ දෘෂ්ටි නැත්තේ ය. එබැවින් ඔවුහු කාම ලෝකයේ නූපදිති. බ්‍ර‍හ්ම සම්පත්තිය පිළිබඳ වූ සුඛ සංඥාව සුඛ චිත්තය ඔවුනට ඇත්තේ ය. එබැවින් ඔවුහු බ්‍ර‍හ්ම ලෝකවල ඉපිද බ්‍ර‍හ්ම සම්පත් විඳිති. බ්‍ර‍හ්ම සුඛය පිළිබඳ වූ සංඥාවිපර්‍ය්‍යාස චිත්ත විපර්‍ය්‍යාසයන් ප්‍ර‍හාණය වන්නේ අර්හත් මාර්ගයෙනි. ඒවා ප්‍ර‍හාණය වීම නිසා රහත්හු බ්‍ර‍හ්ම ලෝකයෙහි නො ඉපිද පිරිනිවෙති.