11. භෝගමදෝ

“ඇතැමකුට සෙට ආහාරවේල සපයා ගැනීමට තරම් මුදලක් අද නැත. මට වනාහි බොහෝ මුදල් ඇත්තේය. බොහෝ ගෙවල් වතු කුඹුරු වාහන ඇත්තේය. බොහෝ පරිභෝග භාණ්ඩ ඇත්තේය’යි ධනය නිසා ඇතිවන මත් කරන අධික මානය භෝගමද නම් වේ. එයට ධන මදය යි ද කියනු ලැබේ. ධනය වනාහි අන් සෑම කරුණකට ම වඩා මිනිසා මත් කරවන දෙයකි. ධනවත්හු බොහෝ සෙයින් ධනමදයෙන් මත්ව සිටින්නෝ ය. කලින් දිළිඳුව සිට හදිසියෙන් ධනය ලැබුවෝ ධනයෙන් වඩාත් මත් වෙති. එබඳු අය මහා ධනයකින් නොව, මඳ ධනයකින් ද මත් වෙති. නොයෙක් විට ඒ මත් වීම නිසා ඔහු පමණ ඉක්මවා වියදම් කොට නැවතත් දිළිඳු බවට පත් වෙති. අන් කරුණු වලින් ඇති වන මදයට වඩා ධන මදය නපුරු ය. ධනමදයෙන් මත් වූවෝ සතුන් මැරීම පමණක් නොව මිනී මැරීම ද කෙරෙති. සුළු සොරකම් නොව මහ සොරකම් කරති. අධික ලෙස කාමයෙහි වරදවා හැසිරෙති. මහා වඤ්චා කරති. අධික ලෙස සුරා පානය කරති. ගරු කළ යුත්තන්ට ගරු නො කරති. අවමන් කරති. කාරුණිකයන් ගේ අවවාදානුශාසනයන් නො පිළිගනිති. ධනමදයෙන් මත් වූවන්ට ඉහත දැක්වූ ජාති මදාදි මද ද එකතු වේ. එබැවින් ඔවුන්ගේ මදය සන්සිඳවීමට දුෂ්කර මහා මදයක් වේ. මත් වී අධික ලෙස පව් කළා වූ ද, දරුණු පව්කම් කළා වූ ද, ඇතැම්හු ඒවායේ විපාක වශයෙන් මෙලොව ද බෝකල් දුක් විඳ මරණින් පසු නරකයට පැමිණෙති. ඇතැම්හු සතුරන් අතින් අකාලයේ මැරෙති. ඇතැම්හු කාමරෝග හා මත්පැනින් වන රෝග සාදාගෙන බොහෝ දුක් විඳ අකාලයෙහි මියෙති. ධනය මනුෂ්‍යයාට අත්‍යාවශ්‍ය දෙයයකි. සැම දෙනා විසින් ම ධනය සපයා ගත යුතු ය. ධනයෙන් මෙලොව ලබන සියලු සැප ලැබිය හැකිය. පරලොව සැප ද ලැබිය හැකි ය. එහෙත් එයින් මත් වන නුසුදුසු පරිදි ධනය පරිහරණය කරන පුද්ගලයා මරා දමන්නේත් අපායට යවන්නේත් ඒ ධනය ය. දෙලෝ වැඩ කැමතියෝ මත් නොවී ධනය පරිහරණය කරන්නට දැන ගනිත්වා!