හොඳ හොඳ උසස් උසස් දේ ලැබීම නිසා ඇති වන, මුළා කරවන අධික මානය සක්කාර මද නම් වේ. ඇතැම් භික්ෂූන්ට ගිහියෝ වැඩි සැලකිල්ලකින් දන් නො දෙති. ජනයා පැහැදවීමට සමත් ඇතැම් භික්ෂූන්ට ඉතා ප්‍රණීතවත් ලෙස පිළියෙල කර දන්දෙති. වටිනා සිවුරු දෙති. ඇඳ පුටු මේස ආදි වටිනා භාණ්ඩ දෙති. ප්‍රණීත ආහාර පානයන් හා වටිනා භාණ්ඩයන් ලබන්නා වූ ඇතැම් භික්ෂූන්ට ප්‍රණීත දෑ නො ලබන භික්ෂූන් සුළු කොටත් තමන් උසස් කොටත් සිතන මානය ඇති වී එයින් මත් වේ. ගිහියන් අතුරින් ද ඇතැම්හු හොඳ ආහාර ඇඳුම් වාසස්ථාන නො ලබන්නෝ ය. ඇතැම්හු ප්‍රණීත ආහාර පානයන් ඇති ව වටිනා ඇඳුම් පැලඳුම් ඇති ව ඉඩකඩ ඇති ලස්සන ගෙවල් ඇතිව, හොඳ රථවාහන ඇති ව සැපසේ ජීවත් වන්නෝ ය. ඔවුන් ගෙන් ඇතමුනට සත්කාර මදය ඇති වේ. ලාභමදය හා සත්කාරමදය නිසා ඇතැම්හු ලාභ සත්කාරයෙන් පිරිහෙති.
ලාභය සත්කාරය යන මේ දෙක විශේෂයෙන් ගිහිපැවිදි කවුරුනුත් මත් කරවන කරුණු දෙකකි. භික්ෂූන්ට ලාභය සත්කාරය ඉතා නපුරු කරුණු දෙකක් බව බුදුන් වහන්සේ විසින් අනේකාකාරයෙන් නොයෙක් උපමායෙන් දේශිත සූත්‍ර බොහෝ ගණනක් සංයුක්තනිකායේ ලාභසත්කාර සංයුත්තයේ එන්නේය. “අසනිචක්කන්ති භික්ඛවෙ ලාභසක්කාරසිලෝක්සේතං අධිවචනං” යනුවෙන් ලාභය සත්කාරය කීර්තිය යන මේ කරුණු තුන භික්ෂුවට හෙණයකැයි වදාරා ඇත්තේය. මහත් දරුණු දෙයකැයි ද වදාරා ඇත්තේ ය. එබැවින් ලාභසත්කාරය ලබන භික්ෂූන් ඒවාට ගිජු නො වී ඒවායින් මත් නො වන සේ පිළිපැදිය යුතු ය.