බැණුම් තර්ජන අවමාන ධනහානි ඥාතීන්ගේ මරණ බලාපොරොත්තු කඩවීම අධික ශීතෝෂ්ණ රෝග සතුන්ගෙන් වන කරදර සාගින්න පිපාසාව යනාදියට ඔරොත්තු නො දෙන සිතෙහි දුබල බව අක්ඛන්තිය ය. එයට නො ඉවසීමය යි ද කියනු ලැබේ. තවත් ක්‍රමයකින් කියත හොත් ඉහත කී කරුණුවල දී කෝපවීම, කෝලාහල කිරීම, බියවීම, පලායාම, ගමරට හැරයාම, ශෝක වීම, හැඬීම, කටයුතු අතපසු කිරීම, කටයුතු අත හැරීම යනාදිය අක්ඛන්තිය යි කිය යුතු ය. අනුන් කරන වරද හා තමාට වන අලාභ හානි දුක් වේදනා ඉවසිය හැකි බව මහා බලයෙකි. එයට ක්ෂාන්ති බලය යි කියනු ලැබේ. ඒ ක්ෂාන්තිය මහා බෝධිසත්වයන් පුරන පාරමිතා දශයෙන් ද එකකි. අඥයෝ ඒ ක්ෂාන්ති බලය දුබල බවෙකැයි ද ඉවසීමට නො සමත් බව වූ දුබලකම බලයකැයි ද සිතා අන්‍යයන් හා කෝලාහල කර ගනිමින් පිරිහීමට පත් වෙති. කෝලාහල නොකර අනුන් කළ වරද ඉවසීමෙන් තමාට ද වරද කළ තැනැත්තාට ද යන දෙදෙනාට ම වන්නේ යහපතෙකි. කෝලාහලයෙන් වන්නේ දෙපක්‍ෂයටම විපතෙකි.
උභින්න මත්ථං චරති - අත්තනෝ ච පරස්ස ච
පරං සංකුපිතං ඤත්වා - යො සතො උපසම්මති
(සක්ක සංයුත්ත)
යමෙක් අනුන් කිපුණු බව දැන තෙමේ නො කිපී සන්සිඳේ නම් හෙතෙමේ තමාගේ ද අන්‍යයාගේ ද යන දෙදෙනාගේ ම අර්ථය පිණිස හැසිරෙන්නේ ය.
උභින්නං තිකිච්ඡන්තානං - අත්තනෝ ච පරස්ස ච
ජනා මඤ්ඤති බාලෝති - යෙ ධම්මස්ස අකෝවිද
(සක්ක සංයුත්ත)
කෝලාහල නො කිරීම් වශයෙන් තමාට ද අනිකාට ද යන දෙදෙනාට ම පිළියම් කරන්නා වූ තැනැත්තා ධර්මය නොදත් අඥයෝ මෝඩයෙකැ යි සිතත්.
උත්තම පුද්ගයෝ අනුන් ගේ බැණුම්වලින් නො සෙල්වෙති. පෙර ලක්දිව විසූ දීඝභාණක අභය තෙරුන් වහන්සේ මාගම දී ආර්‍ය්‍යවංශ ප්‍රතිපදාව දේශනය කළහ. බණ ඇසීමට බොහෝ ජනයා පැමිණියහ. එයින් උන් වහන්සේට බොහෝ සත්කාර ලැබිණ. එය දුටු එක්තරා තෙර නමකට එය නො ඉවසිය හැකි වී දීඝභාණකයා ආර්‍ය්‍ය වංශය දේශනය කරමි යි රාත්‍රිය මුළුල්ලෙහි කෝලාහලයක් කෙළේ ය යි කියමින් බණින්නට විය. බණ අවසන් වී තම තමන්ගේ විහාරවලට වැඩම කළා වූ ඒ ස්ථවිර දෙනම ගව්වක් මඟ එකට ම ගමන් කළහ. කෝප වී සිටි ස්ථවිර තෙමේ මඟ දිගට ම ද අභය තෙරුන් වහන්සේට බණිමින් ම ගමන් කෙළේ ය. විහාර දෙකට යන මඟ බෙදෙන තැන දී අභය තෙරුන් වහන්සේ බණින තෙරුන් වහන්සේට වැඳ “ස්වාමීනි, මේ ඔබ වහන්සේ ගේ මඟය” යි කීහ. ඒ ස්ථවිර තෙමේ තුෂ්ණීම්භූත ව ඒ මඟ ගියේ ය. අභය තෙරුන් වහන්සේ ද තමන්ගේ විහාරයට ගොස් පා සෝදා අසුනක හිඳ ගත්හ. අතවැසියෝ උන් වහන්සේ වෙත එළඹ, “ස්වාමීනි, මඟ දිගට ම බැන්නා වූ ස්ථවිර නමකට කිසිවක් නොකී සේක් දැ” යි කීහ. එකල්හි අභය තෙරුන් වහන්සේ “ඇවැත්නි, ඉවසීම ම අපට භාර දෙය ය, කමටහනින් වෙන් ව තැබූ එක පියවරකුදු නොදකිමු” යි කීහ. ඉවසීමට නො සමත් බව නමැති දුබල කම දුරු කොට ශාන්ති බලය ඇති කර ගත හැකිවීමට මෙවැනි කතා ආදර්ශයට ගත යුතු ය.
ඇතැම්හු තමන් ගේ කෙනකු කලුරිය කළ විට බිම පෙරළෙමින් හඬති. අතින් පපුපට ගසා ගනිති. නො කා නො බී සිටිති. එය ද අක්ඛන්ති නම් වූ දුබල බව ය. ඇතැම්හු කෙනකු මළහොත් එසේ කළ යුතු යයි සිතති. නො කිරීම මළහුට අගෞරවයකැයි සිතති. එය අනුවණ කමකි. තමාගේ කෙනකු නැතිවීම පාඩුවක් වුව ද ශෝක කිරීමෙන් ඒ පාඩුව නො පිරිමැසේ.
අද ශීතල අධිකය, අද උෂ්ණය, අද වැස්සය, පින්නය, අසනීපය කියා කටයුතු පමා කිරීම ද අක්ඛන්තිය ම ය. එසේ කරන්නෝ සැපයෙන් පිරිහෙති. ශීතෝෂ්ණාදිය ගණන් නො ගෙන ඉවසීමෙන් ක්‍රියා කරන්නෝ සැපතින් නො පිරිහෙති. ඇතැම්හු රැකියාවක් නැත, ධනයක් නැත කියා තැවි තැවී කල් යවති. එද අක්ඛන්තිය ය. එයින් පුද්ගලයා තවත් පිරිහේ. තැවි තැවී නො සිට කුමක් හෝ කරන ධෛර්‍ය්‍යවත් පුද්ගලයා සැපතට පැමිණේ.
අසෝරච්චං
දුසිල් බව අසෝරච්ච නම් වේ. ගිහියන් විසින් කායද්වාරයෙන් සිදුවන අකුශල කර්ම තුනෙන් හා වාක් ද්වාරයෙන් සිදුවන අකුශල කර්ම හතරෙන් නො වැළකීමත් පැවිද්දන් විසින් ශ්‍රමණ ශීලයට අයත් සිකපද නො රැකීමත් අසෝරච්චය ය.