චත්තාරෝ ගන්ථා:

5. අභිජ්ඣා කායගන්ථෝ

6. ව්‍යාපාදෝ කායගන්ථෝ

7. සීලබ්බතපරාමාසෝ කායගන්ථෝ

8. ඉදං සච්චාභිනිවේසෝ කායගන්ථෝ

වර්තමාන භවයේ චුති චිත්තයට අනතුරුව ම අනාගත භවයක ප්‍ර‍තිසන්ධි චිත්තය ඇති කිරීමෙන් භව පරම්පරාව සිඳෙන්නට නො දී සංසාරය දිගට පවත්වන ධර්මයෝ ගන්ථ නම් වෙති. ගන්ථ යන්නෙහි දහස එක් භවයක් හා අන් භවයක් එක් කොට බඳින, සම්බන්ධ කරන ධර්මය යනුයි. එක් භවයකට අයත් කය හා අන් භවයක කය සම්බන්ධ කරන්නෝ ය යන අර්ථයෙන් කායගන්ථ නම් වෙති.

දශ අකුශල කර්ම පථය දක්වන තැන්වල අභිජ්ඣා යන වචනයෙන් කියැවෙන්නේ හොඳය කියා ඇලුම් කිරීම් මාත්‍රයෙන් නො නැවතී අන් සතු වස්තූන් තමා කෙරෙහි ආරෝපණය කිරීම් වශයෙන් ඇති වන අධික ලෝභය ය. අභිජ්ඣා කායගන්ථ යන මෙහි අභිජ්ඣා යනුවෙන් කියැවෙන්නේ සෑම ආකාරයකින්ම ඇති වන ලෝභය ය. ආශාව තණ්හාව ආදරය ආලය රාගය ප්‍රේමය ස්නේහය කාමතණ්හාව භවතණ්හාව විභව තණ්හාව රූපාශාව ශබ්දාශාව ගන්ධාශාව රසාශාව ‍ඵොට්ඨබ්බාශාව ජීවිතාශාව ධනාශාව පුත්‍රාශාව යනාදි නොයෙක් නම් වලින් කියැවෙන සර්වාකාර ලෝභය අභිජ්ඣාකායගන්ථය ය.

දශ අකුශල කර්ම පථයන් දක්වන තන්හි ව්‍යාපාද යනුවෙන් කියැවෙන්නේ සාමාන්‍ය නො සතුට විරුද්ධත්වය ඉක්මවා ගිය අන්හු නැසෙත්වා යි සිතීම වශයෙන් පවත්නා නපුරු ද්වේෂය ය. මෙහි ව්‍යාපාද යනුවෙන් අදහස් කරනුයේ සර්වාකාර වූ ම ද්වේෂය ය. කෝපය ගැටුම නො සතුට තරහව වෛරය අමනාපය පිළිකුල යනාදි නොයෙක් නමින් කියැවෙන ද්වේෂය ව්‍යාපාදකායගන්ථය ය.

ගෝශීල ගෝව්‍ර‍තාදි මිථ්‍යාශීල මිථ්‍යාව්‍ර‍තයන් පිරිසිදු වීමේ මාර්ගය වශයෙන් වරදවා ගැනීම වූ මිථ්‍යාදෘෂ්ටිය සීලබ්බත පරාමාස කායගන්ථ නම් වේ.

ලෝකය ශාස්වතය: සත්‍යය මෙයමය. අන්‍යවාද හිස්ය කියා හෝ, ලෝකය අශාස්වතය: සත්‍යය මෙයමය. අන්‍යවාද හිස්ය කියා හෝ, ලෝකය අන්තවත්ය: සත්‍යය මෙයමය. අන්‍යවාද හිස්ය කියා හෝ, ලෝකය අනන්තවත්ය: සත්‍යය මෙයමය. අන්‍යවාද හිස්ය කියා හෝ, ජීවයත් එයය ශරීරයත් එයය: සත්‍යය මෙයමය. අන්‍ය වාද හිස්ය කියා හෝ, ජීවය අනෙකක ශරීරය අනෙකක: සත්‍යය මෙයමය. අන්‍යවාද හිස්ය කියා හෝ, සත්ත්වයා මරණින් පසු ද ඇත: සත්‍යය මෙයමය. අන්‍යවාද හිස්ය කියා හෝ, මරණින් මතු සත්ත්වයා නැත: සත්‍යය මෙයමය. අන්‍යවාද හිස්ය කියා හෝ, සත්ත්වයා මරණින් පසු ඇත්තේ ද වේ නැත්තේ ද වේ: සත්‍යය මෙයමය. අන්‍ය වාද හිස්ය කියා හෝ යම් කිසි වාදයක පිහිටා එය ම සත්‍යයයි තදින් ගන්නා ස්වභාවය වූ මිථ්‍යා දෘෂ්ටිය ඉදංසච්චාභිනිවේස කායගන්ථය ය.

ධර්ම වශයෙන් ගන්නා කල්හි සීලබ්බත පරාමාස කායගන්ථ ඉදංසච්චාභිනිවේස කායගන්ථ යන දෙක එක ම දෘෂ්ටි චෛතසිකය ය. එබැවින් ලෝභ ද්වේෂ දිට්ඨි යයි ධර්ම වශයෙන් ගන්ථ තුනක් ම වේ.