1. කාමාසවෝ.
2. භවාසවෝ.
3. දිට්ඨාසවෝ.
4. අවිජ්ජාසවෝ.
භාජනවල බහා කලක් පල් කරන ලද මත් කරවන ස්වභාවය ඇති මල්රස ආදිය ආසව නම් වේ. ඒවා පල් කරන කල්හි ඒවා අනුව භාජන ද පල් වේ. කාමාසව භවාසව දිට්ඨාසව අවිජ්ජාසව යන ධර්ම සතර ද සත්ත්වයා ගේ කොනක්දැකිය නොහෙන අතීත භව පරම්පරාවෙහි පර්ය්‍යුත්ථාන වශයෙන් හා අනුශය වශයෙන් ද පැවැතියේ ය. අතිදීර්ඝ කාලයක් එසේ සත්ත්ව සන්තානයෙහි පැවතීමෙන් ඒවා පල්වූවෝය. සත්ත්ව සන්තානය ද ඒවා නිසා පල් ව ඇත්තේ ය. අතිදීර්ඝ කාලයක් පල්වී ඇති සත්ත්ව සන්තානය අර්හත්මාර්ගඥාන නමැති ජලයෙන් මිස අන් ක්‍රමයකින් පිරිසිදු නො කළ හැකිය. අර්හත්වයට පැමිණ පිරිසිදු වීම දක්වා සත්ත්ව සන්තානයෙහි ආශ්‍රව ධර්ම සතර අනාගතයෙහිත් පවත්නේය. කාම භව දිට්ඨි අවිජ්ජා යන මේ ධර්මයෝ සතර දෙන ඉහත කී ආශ්‍රවයන්ට පල් වීම් වශයෙන් සමාන බැවින් ආසව නම් වෙති. පුප්ඵාසවාදි ආසවවින් මත් කරවන්නේ මඳ කලකටය. ඒවායින් වන මත පැය ගණනකින් සන්සිඳෙන්නේ ය. කාමාසවාදීන් ගෙන් වන මත අති දීර්ඝ කාලයක් පවතී. අර්හත් මාර්ගයෙන් ඒ කෙලෙස් ප්‍රහාණය කරන තුරු ම ඒ මත පවතී. එ බැවින් කාමාසවාදිය පල් කළ මල්රස අදි ආසවයන්ට වඩා මත් කරවන දෙයක් බව කිය යුතු ය. මත් කරීම් වශයෙන් ද ආසවයන්ට සමාන බැවින් කාම භව දිට්ඨි අවිජ්ජා යන ධර්මයෝ ආසව නම් වෙති.
පැස වූ කුෂ්ඨ වණ ගෙඩිවලින් ගලන ඕජස ද ආසව නම් වේ. පැස වූ කුෂ්ඨය ඇතියහුගේ තුවාල වලින් ඕජාව ගලා හැඳිවත් හා වාසස්ථාන දූෂණය කරන්නාක් මෙන් කාමාසවාදීහු චක්ඛු සෝත ඝාන ජිව්හා කාය මන යන ද්වාර සයෙන් ගලා රූප ශබ්ද ගන්ධ රස ස්ප්‍ර‍්ෂ්ටව්‍ය ධර්ම යන අරමුණු සය දූෂණය කෙරෙති. එ බැවින් ෂට්ද්වාරයෙන් ගලන්නෝය යන අර්ථයෙන් ද කාමභවාදීහු ආසව නම් වෙති.
ස්කන්ධ පරම්පරාව නො සිඳී දිගින් දිගට පවත්නේ මේ ධර්ම සතර නිසා ය. සංස්කාර දුඃඛය ඉදිරියට දිගට පවත්වන්නෝය යන අර්ථයෙන් ද කාමාදීහු ආසව නම් වෙති.
මේ ධර්මයෝ සතර දෙන භවාග්‍රය දක්වා ලෝකයත්, මාර්ග චිත්තයට පූර්ව භාගයේ ඇතිවන ගෝත්‍රභු චිත්තය දක්වා ඇති ධර්ම සියල්ලත් අරමුණු කිරීම් වශයෙන් ගලා යට කර ගෙන සිටින බැවින් ද ආසව නම් වේ.
කාම වස්තූහුය, ඒවායේ ඇලෙන තණ්හාවය යන දෙකට ම කාමය යි කියනු ලැබේ. කාමාසව යන මෙහි කාම යනුවෙන් අදහස් කරන්නේ කාම වස්තූන් කෙරෙහි පවත්නා තණ්හාවය, රාගය ය. කාම වස්තූන් සම්බන්ධයෙන් ඇති වන තණ්හාව, රාගය කාමාසවය ය. එය ලෝභය ම ය.
භවාසව යන මෙහි භව යනුවෙන් කියැවෙන්නේ රූපාරූප භවයන්හි උත්පත්තිය සිදුකරන කුශල කර්මයන් හා ඒ කුශල් වලින් උපදවන රූපාරූප භවයන්හි ස්කන්ධයන් පිළිබඳ වූ ද තණ්හාව ය. ඒ තණ්හාව භවාසවය ය.
දිට්ඨාසව යනු මිථ්‍යා දෘෂ්ටීහු ය. අවිජ්ජාසව යනු අවිද්‍යාව ම ය. ධර්ම වශයෙන් බලන කල්හි කාමාසව භවාසව යන දෙකින් ම කියැවෙන්නේ එකම ලෝභය ය. එබැවින් ලෝභය දිට්ඨිය මෝහය කියා ධර්ම වශයෙන් ආශ්‍රවයෝ තිදෙනෙක් ම වෙති.