ලෝකයෙහි ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ බලවත් වීර්‍ය්‍යයත් අප්‍රමාදයත් සම්‍යක්මනස්කාරයත් නිසා තමාගේ අතීත ජාතීන් සිහි කිරීමට සමත් චිත්ත සමාධියක් ලබයි. ඔහුට ඒ චිත්ත සමාධියේ බලයෙන් මම අතීතයේ මෙබඳු ශරීරයක් ඇති ව මෙබඳු නමක් ගෝත්‍රයක් ඇති ව මෙබඳු ආහාර ඇති ව මෙබඳු සැප දුක් ඇතිව මෙපමණ ආයු ඇතිව අසවල් තැන විසුවෙමි. ඉන් ච්‍යුතව අසවල් තැන උපන්නෙමි. එහි ද මෙබඳු ශරීරයක් ඇතිව, මෙබඳු නාමයක් ගෝත්‍රයක් ඇති ව, මෙබඳු ආහාර ඇති ව මෙබඳු සුවදුක් ඇති ව, මෙ පමණ ආයු ඇති ව විසුයෙමි යි සිය ගණන් දහස් ගණන් ලක්‍ෂ ගණන් අතීත ජාතීන් දැකිය හැකි වේ. ඔහු තමාගේ අතීත ජාති පිළිළෙ දැක මේ ආත්මය මහ පොළොව මහගල් පර්වත ඉර සඳ සේ ස්ථිර නො නැසෙන දෙයක, ලෝකය වඳය, අලුත් සත්ත්වයන් ඉපදවීමට සමතුන් නැත, ලෝකයේ වෙසෙන්නා වූ සත්ත්වයෝ ම නැවත නැවත ඒ ඒ භවවල උපදනාහ යන දෘෂ්ටිය ගනී. ඉක්බිති මා මේ කියන්නේ අනුන්ගෙන් අසා හෝ අනුමානයෙන්න හෝ නොව මගේ ම චිත්ත සමාධි බලයෙන් ප්‍රත්‍යක්ෂ ලෙස දැකීමෙනැයි ඒ ශාස්වත දෘෂ්ටිය අන්‍යයන්ට ප්‍රකාශ කරයි. මේ පළමුවන ශාස්වත වාදය ය.
ඇතැම් ශ්‍රමණයෙක් බ්‍රාහ්මණයෙක් තමා ලත් චේතෝ සමාධියේ බලයෙන් කල්ප දශයක අතීත භවයන් දැකීමට සමත් වෙයි. හේ ද තමාගේ අතීත ජාතිපිළිවෙළ බලා ආත්මය නො නැසී පවතීය යන දෘෂ්ටිය ගෙන එය ප්‍රකාශ කරයි. ඒ දෙවන ශාස්වත වාදය ය. අනිකෙක් ඔහු ලැබූ සමාධියේ බලයෙන් සතළිස් කපක් අතීතය දැකීමට සමත් වෙයි. ඔහු ද තමාගේ අතීත ජාති පරම්පරාව දැක ජාතියෙන් ජාතියට යන නිත්‍ය ආත්මයක් ඇත යන දෘෂ්ටිය ප්‍රකාශ කරයි. ඒ තුන්වන ශාස්වත වාදය ය. සමාධි ලාභී මන්ද ප්‍රාඥ තීර්ථකයෝ අතීත ජාති ලක්‍ෂ ගණනක් දැකීමට සමත් වෙති. මධ්‍යම ප්‍රාඥ තීර්ථකයෝ කල්ප දශයක් අතීත ජාති දැකීමට සමත් වෙති. තීක්ෂණ ප්‍රාඥ තීර්ථකයෝ සතළිස් කපෙක අතීත ජාති දැකීමට සමත් වෙති. ඉන් ඔබ්බෙහි අතීතය දැකීමට තීර්ථකයෝ සමත් නො වෙති.
ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් මේ සත්ත්වයා ඇති වූයේ කෙසේදැයි කල්පනා කරයි. ඔහුට සත්ත්වයා යම්කිසි හේතුවකින් තොර ව ඉබේම ඇති විය නො හෙන බව වැටහේ. යම්කිසි පුද්ගලයකුට සත්ත්වයන් ඇති කළ නො හෙන බව ද වැටහේ. ඔහු කල්පනා කිරීමෙන් තමාට වැටහුණු පරිදි “ලෝකය වඳය. මේ සත්ත්වයෝ පොළොව මෙන් මහ ගල්කුළු මෙන් ඉර හඳ මෙන් ස්ථිර ව ලෝකයෙහි සැම කල්හි ම සිටින්නාහ. මේ ඇත්තා වූ සත්ත්වයෝ ම භවයෙන් භවයට සංක්‍රමණය වන්නාහ” යි ශාස්වත දෘෂ්ටිය ප්‍රකාශ කරයි. ඒ සතරවන ශාස්වත වාදය ය.
අනුශ්‍රැති තාර්කිකයා ය. ජාතිස්මරණ තාර්කිකයා ය, ධ්‍යානලාභීතාර්කිකයා ය, ශුද්ධතාර්කිකයා ය යි තාර්කිකයෝ (කල්පනා කරන්නෝ) සතර දෙනෙකි. බුදුන් වහන්සේ පෙර වෙස්සන්තර රජ වූහ යනාදිය ඇසීමෙන් බුදුහු ම වෙස්සන්තර රජු නම් මේ ආත්මය නිත්‍ය එකකැයි ශාස්වත දෘෂ්ටිය ගන්නෝ අනුශ්‍රැති තාර්කිකයෝ ය. ඇතැම්හු පෙර ජාති එකක් හෝ දෙක තුනක් සිහි කිරීමට සමත් වෙති. ඔවුහු එයින් පෙර සිටියේත් දැන සිටින්නේත් මම ම ය කියා ආත්මය නිත්‍යය යි ශාස්වත දෘෂ්ටිය ගනිති. ඇතැම් ධ්‍යානලාභීහු මගේ ආත්මය දන් සුඛිතව පවතී, අතීතයෙහි ද එසේ පැවතියේ ය, අනාගතයෙහි ද එය එසේ ම පවතින්නේ ය යි ශාස්වත දෘෂ්ටිය ගනිති. ශුද්ධතාර්කිකයෝ මෙය ඇති කල්හි මෙය වන්නේ ය. මෙය ඇති කල්හි මෙය නො වන්නේ ය යනාදීන් කල්පනා කොට තමන්ට වැටහෙන පරිදි ශෘස්වත දෘෂ්ටිය ගනිති.