ජාතියෙන් ජාතියට යෙමින් සුව දුක් විඳින නො මැරෙන ආත්මයක් ඇත යන දෘෂ්ටිය භවදිට්ඨි නම් වේ. ශාස්වත දෘෂ්ටිය යනු ද එයට නමෙකි. මේ ශාස්වත දෘෂ්ටිය මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන් ලැබීමට බාධාවක් වුව ද ස්වර්ග සම්පත්තියට බාධක නො වේ. ඒ දෘෂ්ටිය ඇත්තෝ ආත්මය සැපවත් කරනු සඳහා පිනවනු සඳහා පින් කොට ස්වර්ගයෙහි උපදිති. ආත්මය දුකට පත් නො කොට රැකීම පිණිස පව්කම් වලින් වලකිති.
මරණින් මතු ආත්මය සිඳෙන්නේය, කෙළවර වන්නේය යන දෘෂ්ටිය විභවදිට්ඨි නම් වේ. උච්ඡේද දෘෂ්ටිය යනු ද එයට නමෙකි. එය බුදුන් කල විසූ අජිතකේසකම්බල විසින් පවසමින් සිටි දෘෂ්ටිය ය. “මිනිසා පඨවි ආපෝ තේජෝ වායෝ යන භූතයන් ගේ පිණ්ඩයෙක, මළ පසු ශරීරයේ පඨවි ධාතුව බාහිර පඨවි ධාතුවටත් ආපෝ ධාතුව බාහිර ආපෝ ධාතුවටත් තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවටත් වායෝ ධාතුව බාහිර වායෝ ධාතුවටත් වන්නේය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහ. එයින් සත්ත්වයා කෙළවර වන්නේය. දුන්නා වූ යාග පූජා ද්‍රව්‍ය අලුවීමෙන් කෙළවර වන්නේ ය. දානය මෝජයන් ගේ වැඩක් ය” යනු ඔහු පවසන දෘෂ්ටිය ය.
එය සුගති, මාර්ග, ඵල, නිර්වාණ යන සියල්ල ම ආවරණය කරන නපුරු දෘෂ්ටියෙකි. ඒ දෘෂ්ටියෙහි පිහිටා සිටිනුවන් මරණින් පසු නැවත උපතෙක් නැතය කියා පිළිගෙන සිටිය ද ඔවුනට අපායෙන් නො ගැලවිය හැකි ය. පින්පව් ප්‍රතික්ෂේප කරන මිථ්‍යාදෘෂ්ටියට කියනුයේ නියත මිථ්‍යාදෘෂ්ටිය කියා ය.
එහි තේරුම මරණින් මතු ඒකාන්තයෙන් ම අපායට යාමට නියත මිථ්‍යාදෘෂ්ටිය යනු යි. වරදවලින් ලොකු ම වරද මිථ්‍යාදෘෂ්ටිය බව:-
නාහං භික්ඛවෙ අඤ්ඤං ඒකධම්මම්පි සමනුපස්සාමි යං ඒවං මහාසාවජ්ජං, යථයිදං භික්ඛවේ මිච්ඡාදිට්ඨි මිච්ඡාදිට්ඨි පරමානි භික්ඛවෙ වජ්ජානි.
(අංගුත්තර ඒකක නිපාත)
යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරා ඇත්තේ ය. ආනන්තර්ය කර්ම කළවුන් කල්ප විනාශයේ දී නරකයෙන් මිදෙන බවත් නියත මිථ්‍යා දෘෂ්ටිකයා කල්පවිනාශයේ දී ද නරකයෙන් නො මිදී විනාශ නොවූ ලෝකයක පාපයට වැටී පැසෙන බවත් මනෝරථපූරණී අටුවාවෙහි කියා ඇත්තේ ය.