3. ආරෝග්‍යමදෝ

නිරෝගී භාවය නිසා ඇති වන මත, උඩඟු බව ආරෝග්‍යමද නම් වේ. මේ මිනිස් ලොව සම්පූර්ණයෙන් නිරෝගී පුද්ගලයෙක් නැත. ඇතුන් දහසක බල ඇති බුද්ධ ශරීරයේ ද නොයෙක් රෝග හට ගත්තේ ය. සෙස්සන් ගැන කියනුම කිම? ශරීරය රෝග හට ගන්නා ස්ථානය ය. ජලය ඇති තැන මසුන් ඇති වන්නාක් මෙන් ශරීරයක් ඇතොත් රෝග හට ගන්නේ ය. එබැවින් නකුලපිතු නම් ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ.

“ආතුරොහයං ගහපති කායො අණ්ඩභූතො පරියොනන්ධො. යො හි ගහපති ඉමං කායං පරිහරන්තො මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර‍ බාල්‍යා?”

(සංයුක්ත නිකාය ඛන්ධවග්ග)

ගෘහපතිය, මේ කය රන් පැහැ ඇතියක් වුවද නිතර අපවිත්‍ර‍ දෑ උතුරන වැගිරෙන එකක් බැවින් ආතුර ය. දුබල බැවින් බිජුවටක් බඳුය. දුබල සමකින් වැසී ඇතියක. ගෘහපතිය, යමකු මේ කය පරිහරණය කරමින් මොහොතකට හෝ නිරෝගී බව පවසනවා නම් එය මෝඩ කම මිස අන් කුමක් ද? යනු එහි තේරුම ය.

සාගින්නත් රෝගයකි. පිපාසයත් රෝගයකි. ශරීරයෙන් දහඩිය කෙළ සෙම් සොටු මලමුත්‍ර‍ ගැලීමත් රෝගයකි. එක් ඉරියව්වකින් වැඩි වේලාවක් සිටියහොත් වේදනා හට ගැනීමත් රෝගයකි. මේ රෝග කාහටත් නිරන්තරයෙන් ඇත්තේ ය. සෙම්ප්‍ර‍තිශ්‍යාව කැස්ස උණ වමනය විරේචනය පීනස අර්ශස කුෂ්ටය පිළිකාව යනාදි රෝග ස්ථිර වශයෙන් නො වැළඳෙන ශරීරයක් නැත. ඇතැම්හු රෝග බහුලයෝ ය. ඇතැමුන්ට රෝග මඳය. ධර්මයෙන් ඈත්ව වාසය කරන්නා වූ ඇතැමුන්ට නිතර රෝග වලින් පෙළෙන අය දුටු විට තුමූ නිරෝගීය කියා රෝගීන් පහත් කොටත් තමන් උසස් කොටත් ගන්නා මානයක් ඇති වේ. එය දියුණු වීමෙන් ආරෝග්‍යමදය නමැති මත ඇති වේ. එහි ආදීනවය තථාගතයන් වහන්සේ විසින් මෙසේ වදාරා ඇත්තේ ය.

“ආරෝග්‍යමද මත්තෝ වා භික්ඛවේ, අස්සුතවා පුථුජ්ජනෝ කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. සෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භේදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උප්පජ්ජති.”

(අංගුත්තර නිකාය තික නිපාත)

“මහණෙනි, ආරෝග්‍ය මදයෙන් මත් වූ නූගත් පෘථග්ජන තෙමේ කයින් ද පව් කරයි. වචනයෙන් ද පව් කරයි. සිතින් ද පව් කරයි. හෙතෙමේ පව් කොට මරණින් මතු සැපයෙන් පහ වූ අපායෙහි උපදීය” යනු එහි අදහසයි.

ආරෝග්‍ය මදයෙන් මත් වූ ඇතැම්හු අන්‍යයන්ට ලෙඩ හැදුනාට අපට සෑදෙන්නේ නැත කියා ශරීරයට අහිත දේ කා බී, පමණ ඉක්මවා ඇතැම් ක්‍රියා කොට නුසුදුසු සේ හැසිර රෝග සාදා ගනිති. එය ද ආරෝග්‍ය මදයෙන් වන එක් අන්තරායකි.