පඤ්ච දිට්ඨධම්මනිබ්බානවාදා:

71. යතෝ ඛෝ අයං අත්තා පඤ්චහි කාමගුණෙහි සමප්පිතෝ සමංගිභූතෝ පරිවාරේති. එත්තා වතා ඛෝ හෝ අයං අත්තා පරමදිට්ඨධම්ම නිබ්බානප්පත්තෝ හෝති.

72. පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති

73. දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති.

74. තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති.

75. චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති.

දෘෂ්ටධර්ම නිර්වාණවාද පසෙකි. ඒ මෙසේ ය:-

ඇතැමෙක්, මේ සත්ත්වයා අඩුවක් නැතිව වුවමනා පමණ උසස් පඤ්චකාමවස්තූන් ලබා ඒවායේ ඉන්ද්‍රියයන් හසුරවමින් කාමයෙන් නැළවී සිටී නම් එය වර්තමාන භවයේ ම ලබන නිර්වාණය යි කියති. මේ පළමුවන දෘෂ්ටිධර්ම නිර්වාණවාදය ය.

ඇතැමෙක්, පඤ්චකාම සම්පත්තියෙන් සතුටු වෙමින් විසීම පරමදෘෂ්ට ධර්ම නිර්වාණය යි කියන්නහුට මෙසේ කියති. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතයයි නො කියමි. එහෙත් එපමණකින් ඒ ආත්මය පරමදෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේ නො වේ. කුමක් හෙයින් ද? කාමයෝ අනිත්‍යයෝ ය. දුඃඛයෝ ය. වෙනස් වන ස්වභාව ඇතියෝ ය. ඒ කාමයන්ගේ වෙනස්වීම අන් ආකාරයකට පැමිණීම හේතු කොට ඔහුට ශෝක පරිදේව දුඃඛ දෞර්මනස්‍ය උපායාසයෝ ඇති වෙති. එහෙයිනි පින්වත, මේ ආත්මය කාමයන්ගෙන් වෙන් ව අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ප්‍ර‍ථම ධ්‍යානයට පැමිණ සිටින්නේ ද එයින් මේ ආත්මය පරම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණ ඇත්තේ ය. මේ දෙවන දෘෂ්ට ධර්ම නිර්වාණවාදය ය.

ප්‍ර‍ථමධ්‍යානය පරම දෘෂ්ටධර්ම නිර්වාණය යි කියන්නහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතය යි නො කියමි. එහෙත් එපමණකින් ඒ ආත්මය පරම දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ නො වේ. කුමක් හෙයින් ද? ඒ ප්‍ර‍ථමධ්‍යානයෙහි සිත අරමුණට යවන විතර්කය ඇත. අරමුණ පිරිමදින විචාරය ඇත. එයින් ඒ ප්‍ර‍ථමධ්‍යානය ඖදාරිකය. පින්වත, මේ ආත්මය විතර්ක රහිත වූ විචාර රහිත වූ ද්විතීයධ්‍යානයට පැමිණියේ නම් එයින් පරම දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ වන්නේ ය. මේ තුන්වන දෘෂ්ටධර්ම නිර්වාණ වාදය ය.

ද්විතීයධ්‍යානය පරම දෘෂ්ටධර්ම නිර්වාණයයි කියන්නහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැත යයි නො කියමි. එහෙත් ද්විතීයධ්‍යානයට පැමිණීමෙන් ඒ ආත්මය පරම දෘෂ්ට ධර්ම නිර්වාණයට පැමිණියේ නොවේ. කුමක් හෙයින් ද? ඒ ද්විතීයධ්‍යානයෙහි ප්‍රීතියක් ඇත. එය සිත ඉල්පෙන බවකි. එයින් එය ඖදාරිකය. පින්වත, යම් කලෙක ඒ ආත්මය ප්‍රීතියෙහි නො ඇලී තෘතීයධ්‍යානයට පැමිණියේ වේ නම් එයින් ඒ ආත්මය පරම දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ වන්නේ ය. මේ සතර වන දෘෂ්ටධර්ම නිර්වාණ වාදය ය.

තෘතීයධ්‍යානය පරම දෘෂ්ටධර්ම නිර්වාණය යි කියන්නහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැත යයි නො කියමි. එහෙත් තෘතීයධ්‍යානයට පැමිණි පමණින් ආත්මය පරම දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ නොවේ. කුමක් හෙයින් ද? එහි සුඛයක් ඇත. ධ්‍යානයෙන් නැඟී ඒ සුඛය නැවත නැවත සිහි කරන බැවින් ඒ ධ්‍යානය ඖදාරිකය. පින්වත, මේ ආත්මය සුඛය ද ප්‍ර‍හාණය කොට උපේක්ෂාවෙන් යුක්ත වන චතුර්ථධ්‍යානයට පැමිණියේ නම් එයින් ඒ ආත්මය පරම දෘෂ්ටධර්ම නිර්වාණයට පැමිණියේ වන්නේ ය. මේ පස්වන දෘෂ්ටධර්ම නිර්වාණ වාදය ය.

පඤ්චක වශයෙන් දැක්වෙන ධර්මයන්ගේ විස්තරය ය.

පඤ්චක නිර්දේශය නිමියේ ය.