කෙලෙස් එක් දහස් පන්සියය

star_outline

සවාසනා සකලක්ලේශයන්ගේ ප්‍ර‍හීණත්වයෙන් පරමවිශුද්ධ චිත්තසන්තානයක් ඇති භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුද්ධයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!

සත්ත්වයකුට සිතය කයය කියා කොටස් දෙකක් ඇත්තේ ය. සිත නිසා කයත්, කය නිසා සිතත් පවතී. කයට දැනුමක් නැත. එබැවින් එය කිසි ක්‍රියාවක් නො කරයි. කයින් සිත පහ වුව හොත් එය දරකඩක් සේ තුබූ තැනක නිශ්චල ව තිබී කුණු වී යයි. මරණය කියනුයේ ද කයින් සිත පහ වීමට ය. සකල ක්‍රියාවන්ම සිදු කරන්නේ සිතය. කය ඒ සිතට වාසස්ථානයෙකි. වාහනයකි. ක්‍රියා කිරීමට උපකරණ රැසකි. වඩවකු කියත් නියන් මිටි ආදි උපකරණවලින් නොයෙක් දේ කරන්නාක් මෙන් සිත ද ශරීරයේ ඇති ඒ ඒ උපකරණ වලින් නොයෙක් ක්‍රියා කරයි. ඇස නමැති උපකරණයෙන් බලයි. කන නමැති උපකරණයෙන් අසයි. නාසය නමැති උපකරණයෙන් සුවඳ දුගඳ දැන ගනී. දිව නමැති උපකරණයෙන් රස විඳී. කය නමැති උපකරණයෙන් පහස විඳී. මුව නමැති උපකරණයෙන් කථා කරයි. ආහාර වළඳයි. පා නමැති උපකරණයෙන් ගමන් කරයි. අත නමැති උපකරණයෙන් නොයෙක් ක්‍රියාවන් කරයි. මරණින් පසු ශරීරය විනාශ වන නුමුත් ඒ ශරීරය ඇසුරු කොට පැවති චිත්ත පරම්පරාව නො නැසේ. එක් ශරීරයකින් ඉවත් වූ චිත්ත පරම්පරාව අන් සිරුරකට ආරූඪ වී පවතී. එයත් නැසුණු කල්හි අන් සිරුරකට ආරූඪ වේ. මෙසේ නිවනට පැමිණීම දක්වා චිත්ත පරම්පරාව නො සිඳී පවතී. මිනිසකු මැරී දෙව්ලොව උපදනා කල්හි මිනිස් ශරීරයෙන් කිසිවක් දෙව්ලොවට නො යයි. මළ මිනිසා ය, දෙවියා ය යන දෙදෙනා එක් පුද්ගලයකු වන්නේ දෙවියාගේ ශරීරයේ පවත්නා සිත මිනිස් සිරුරෙහි වූ චිත්ත පරම්පරාවට ම අයත් වන බැවිනි. මිනිසකු මැරී ප්‍රේත ව උපන් කල්හි ඒ දෙදෙනා එක් පුද්ගලයකු වන්නේ මිනිසාගේ සිත් පරම්පරාව ම ප්‍රේත ශරීරයට පැමිණීම නිසා ය. කය සේ ම සිතත් මරණයෙන් සිඳී යන්නේ නම් පුනර්භවයක් නො ලැබේ. කුශලාකුශල කර්මයන් කරන්නේ ද සිතිනි. ඒවා විපාක දෙන්නේ ද කර්මයන් කළ සිත් පරම්පරාවේ පැවැත්ම නිසා ය. මේ කරුණු අනුව සිත ම සත්ත්වයකුගේ ප්‍ර‍ධාන කොට්ඨාසය බව කිය යුතු ය. බුදුන් වහන්සේ විසින් ද මෙසේ වදාරා ඇත්තේ ය.

චිත්තේන නීයති ලෝකෝ - චිත්තේන පරිකස්සති

චිත්තස්ස ඒකධම්මස්ස - සබ්බේව වසමන්වගු

(දේවතා සංයුත්ත)

‘සත්ත්වයා විසින් ඒ ඒ භවයට ඒ ඒ තත්ත්වයට ගෙන යනු ලැබේ. සිතින් ඒ මේ අත අදින් ලැබේ. එක ධර්මයක් වූ සිතෙහි වසයට සියලු සත්ත්වයෝ ම ගියෝ ය’ යනු එහි තේරුම ය.

සත්ත්වයනට සුවදුක් ලැබෙන්නේ ඔවුන්ගේ සිත් පැවති ආකාරයේ සැටියට ය. එබැවින් සැප කැමති, දුක් නො කැමති සෑම දෙනා විසින් ම සිත ගැන දැනුමක් ඇති කර ගත යුතු ය. සිත පාලනය කර ගත යුතු ය.

“පහස්සරමිදං භික්ඛවේ චිත්තං” යි වදාරා ඇති පරිදි සත්ත්වයාගේ සිත ප්‍ර‍කෘතියෙන් පිරිසිදු ය. මඩ දැලි කෙළ සෙම් සොටු මල මුත්‍ර‍ ආදිය එක් වීමෙන් ශුද්ධ ජලය අපවිත්‍ර‍ වන්නාක් මෙන් රාගාදි පාප ධර්මයන් එකතු වීමෙන් පිරිසිදු සිත කිලිටි වේ. කුණු වේ. සිත කිලිටි වූ කල්හි ඒ පුද්ගලයා හට තමාට විය හැකි අර්ථානර්ථයන් නො දැනෙන්නේ ය. අනුන්ට විය හැකි අර්ථානර්ථයන් ද නො දැනෙන්නේ ය. කළ යුත්ත නො කළ යුත්ත නො දැනෙන්නේ ය. කිලිටි වූ සිතෙන් කිසි කලෙක යහපතක් සිදු නො කෙරේ. කෙරෙතොත් කෙරෙන්නේ තමාට හා අන්‍යයන්ට නපුරක් වන දෙයක් පමණෙකි. කිලිටි නො වන පරිදි සිත ආරක්‍ෂා කර නො ගත් පුද්ගලයෝ දුකින් දුකට ම පත් වෙති. එබැවින් මහාකාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සිත ආරක්‍ෂා කර ගැනීම සඳහා බොහෝ අනුශාසනයන් කර ඇත්තේ ය. අනේකාකාරයෙන් නොයෙක් උපමා දක්වමින් අනුශාසනා කර ඇත්තේ ය. ඉන් කීපයක් මෙසේ ය:-

දිසො දිසං යන්තං කයිරා - වෙරිවා පන වෙරිනං

මිච්ඡා පණිහිතං චිත්තං - පාපියොනං තතො කරෙ

අනුන්නේ වස්තුව පැහැර ගන්නා සොරෙක් ඔහුගේ වස්තුව පැහැර ගන්නා සොරකු හමු වූ විට, ඒ සොරාට යම් බඳු නපුරක් කෙරේ ද, තමාට අනර්ථ කරන සතුරකු මුණ ගැසුණු තැනැත්තකු විසින් ඒ සතුරාට යම් බඳු නපුරක් කෙරේ ද, එයට වඩා මහත් නපුරක් නො මනා සිත් ඇති පුද්ගලයාට ඒ සිත කරන්නේ ය.

න තං මාතාපිතා කයිරා - අඤ්ඤේ වා පිච ඤාතකා

සම්මා පණිහිතං චිත්තං - සෙය්‍යසො නං තතො කරෙ

(ධම්මපද චිත්තවග්ග)

පුද්ගලයකු කිළිටි වන්නට නො දී මනා කොට තබා ගන්නා ලද සිත යම් යහපතක් සිදු කෙරේ ද එපමණ යහපතක් ඔහුට මාපියෝ ද නෑයෝ ද නො කරන්නාහ. කිරීමට සමත් නො වන්නා හ.

සමතිත්තිකං අනවසෙසකං

තෙලපත්තං යථා පරිහරෙය්‍ය

එවං සචිත්ත මනුරක්ඛෙ

පත්ථයානො දිසං අගත පුබ්බං

(ජාතික පාලි)

මුවවිට දක්වා තෙල් පිරවූ පාත්‍ර‍යක් තෙල් නො ඉසිරෙන සේ සිහියෙන් ගෙන යන්නාක් මෙන් කිසි කලෙක නො ගිය තැන වූ නිවනට යනු කැමැති තැනැත්තේ තමාගේ සිත කිලිටි නො වන සේ සිහියෙන් ආරක්‍ෂා කරගන්නේ ය.

සිත කිලිටි කරන නරක් කරන තවන අකුශල පාක්ෂික චෛතසික ධර්මයෝ කිලේස නම් වෙති. කෙලෙස්, ක්ලේශ යන මේවා ද ඒවාට කියන නම් ය. එක්දහස් පන්සියයක් ලෙස ගණන් ගෙන ඇති කෙලෙස් සියල්ල විභාග වශයෙන් දක්වා ඇති යම්කිසි එක් සූත්‍ර‍ධර්මයක් නැත්තේ ය. එබැවින් කෙලෙසුන්ගේ ගණන අඩුවැඩි නැති ව හරියට ම දැක්වීම අපහසු ය. එක්දහස් පන්සියය යන මේ ගණන සාමාන්‍ය ගණනෙකි. සිත කිලිටි කරන ධර්ම සියල්ල තථාගතයන් වහන්සේ විසින් දේශනය කර ඇත්තේ ක්ලේශ යන නාමයෙන්න ම නොවේ. උපක්කිලේස කිලේස අංගණ චේතොඛිල ආසව ඕඝ යෝග නීවරණාදි නොයෙක් නම් වලින් සූත්‍ර‍ පිටකයෙහි හා අභිධර්ම පිටකයෙහි නොයෙක් තැන්වල නොයෙක් සූත්‍ර‍වල සිත කිලිටි කරන ධර්ම, දේශනය කර ඇත්තේ ය. එක් දහස් පන්සියය යන ගණන කියන්නේ ඒවා ක්ලේශ යන නමින් එකතු කර ගැනීමෙනි. ආචාර්‍ය්‍යවරයන් විසින් කෙලෙස් එක්දහස් පන්සියය දක්වන ක්‍ර‍ම කීපයක් ඇත්තේ ය. අභිධර්මපිටකයේ ඛුද්දකවත්ථුවිභංගයේ හා බ්‍ර‍හ්මජාලසූත්‍රයෙහි දැක්වෙන කරුණු අනුව කෙලෙස් එක්දහස් පන්සියය දැක්වීම ඉන් එක් ක්‍ර‍මයෙකි. මේ ග්‍ර‍න්ථයෙහි කෙලෙස් එක්දහස් පන්සියය විස්තර කරන්නේ ද ඒ ක්‍ර‍මයෙනි.

ලෝකෝත්තර මාර්ගයෙන් මතු කිසිකලෙක නැගී නො එන පරිදි කෙලෙසුන් සහමුලින් ම නසා නැති පෘථග්ජන පුද්ගලයන් තුළ මේ කෙලෙස් එක් දහස් පන්සියය ම යටපත් වී පවත්නේ ය. එහෙත් පෘථග්ජන චිත්තය නිරන්තරයෙන් ම කිලිටි වී පවත්නේ නො වේ. සිත කිලිටි වන්නේ යටපත් වී ඇති කෙලෙසුන්ගෙන් යම්කිසිවක් නැගී ආ විට ය.

අලු යට ගිනි අඟුරු ලෙසින්, ඇති බව නො දැනෙන පරිදි යටපත්ව පවත්නා අවස්ථාව ය, ඇති බව දැනෙන පරිදි මතු වී පවත්නා අවස්ථාවය, ක්‍රියා කරන අවස්ථාවයයි කෙලෙසුන්ගේ අවස්ථා තුනක් ඇත්තේ ය. රාගාදි කෙලෙසුන් ඇතිවීමට හේතු වන රූපාදි ආරම්මණයන් ලද කල්හි ඒ කෙලෙසුන් ඇති වන්නේ ඒවා ඒ පුද්ගලයාගේ සන්තානයෙහි යටපත් වී තිබීම නිසා ය. අනාගාමී මාර්ගයෙන් කාමරාගය සම්පූර්ණයෙන් ම නැති කරනු ලැබේ. එබැවින් අනාගාමී අර්හත් පුද්ගලයන්ගේ සන්තානවල යටපත්ව පවතින කාමරාගයක් නැත. කාමරාගයට ආහාරය වන ස්ත්‍රී රූපයක් දැකීමෙන් හෝ ශෝභන තරුණියක හා කථා කිරීමෙන් හෝ එක් ව විසීමෙන් හෝ එක් ව ශයනය කිරීමෙන් හෝ අනාගාමී අර්හත් පුද්ගලයන්ට කාම රාගයක් ඇති නො වන්නේ ය. එයට හේතුව ඒ පුද්ගලයන් තුළ යටපත්ව පවතින කාම රාගයක් නැති බව ය. පෘථග්ජන පුද්ගලයන්ට වනාහි ලස්සන තරුණියක් ගැන ඇසූ පමණින් වුව ද කාම රාගය ඇති වේ. එයට හේතුව ඔවුන් තුළ කාම රාගය නමැති ක්ලේශය යටපත් වී තිබීම ය. ධර්ම විභාග නොදත් පුද්ගලයෝ තමන් තුළ කෙලෙස් ඇති වුව ද ඒ ඇති වුන දේවල් කෙලෙසුන් බව නො දති. ශෝභන තරුණිය දුටු තරුණයා කෙරෙහි තරුණිය ගැන ආදරයක් ඇති වේ. ඇය නැවත නැවත දැකීමේ ආශාවක් ඇය හා කථා කිරීමේ ආශාවක් ඇගේ සිත් ගැනීමේ ආශාවක් ඇයට සංග්‍ර‍හ කිරීමේ ආශාවක් ඇති වේ. තරුණයා තුළ ඇතිවන ඒ ආදරය හා ආශා රාශිය කාමරාගය නමැති ක්ලේශය ය. ස්ත්‍රී රූපයේ නිසරු බව සැලකීමෙන් හෝ රාගයේ ආදීනවය සැලකීමෙන් හෝ අන් වැඩක යෙදීමෙන් හෝ ඒ නැගී සිටි කාමරාගය නමැති ක්ලේශය යටපත් නො කළහොත් එය වැඩී ක්‍රියාකාරී භාවයට පැමිණෙන්නේ ය. ඔහු දුටු තරුණිය වෙත යන්නේ ය. ඇය හා කථා කරන්නේ ය. එයට විරුද්ධ වන අය හා කලහ කරන්නේය. ඇය සතුටු කරවීම සඳහා ප්‍රාණවධාදි නොයෙක් පව්කම් ද කරන්නේ ය. ඒ කාමරාගය නමැති ක්ලේශයේ ක්‍රියා කරන අවස්ථාව ය. කියන ලද ක්‍ර‍මයෙන් සියලු කෙලෙසුන්ගේ ම අවස්ථා තුන තේරුම් ගත යුතුය. පත්ළෙහි මඩ ඇති ලිඳේ ජලය නො කැළඹෙන තෙක් පිරිසිදු ය. එමෙන් එක් දහස් පන්සියයක් කෙලෙසුන් සිතෙහි යටපත් වී ඇත ද ඒවායින් කවරක් හෝ නැඟී එන තුරු සිත පිරිසිදු ය. සිත අපිරිසිදු වන්නේ නැගී සිටියාවූ ද ක්‍රියාකාරිත්වයට පැමිණියා වූ ද කෙලෙසුන්ගෙනි. කෙලෙස් යටපත් වී පවත්නා තෙක් පුද්ගලයාගෙන් පාපයක් නො කෙරේ. සියලු ම පව් කෙරෙන්නේ නැගී සිටියා වූ කෙලෙසුන් නිසාය. බොහෝ පින් ඇති පුද්ගලයකු වුව ද මරණාසන්න කාලයේ කෙලෙසුන්ගෙන් දූෂිත වූ සිතින් විසුවහොත් ඔහු පින් ඇත ද නරකයෙහි උපදනා බව -

“චේතොපදොස හෙතු පන භික්ඛවෙ එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති”

(අංගුත්තර ඒකකනිපාත)

යනුවෙන් වදාරා ඇත්තේ ය. කෙලෙසුන් ගෙන් සිත දූෂිතවීම ඉමහත් නපුරක් බැවින් එසේ නො වන පරිදි පරෙස්සම් විය යුතු ය. පරෙස්සම් වීම නම් බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය සේවනය කිරීම හා සිහියෙන් යුක්තව විසීමය. එසේ වාසය කරන සත්පුරුෂයන්ගේ සිත්වල කෙලෙස් නැග සිටීම අඩුය. පෘථග්ජන පුද්ගලයාට සැම කල්හි ම සිහියෙන් යුක්ත විය නො හෙන බැවින්, ගිහිගෙය හැර පැවිදිව වනගත ව මහණදම් පුරන පින්වතුන් තුළ ද සමහර විට කෙලෙස් මතු වේ. එසේ මතු වන්නා වූ කෙලෙසුන් ඒ පින්වත්හු වහා සන්සිඳවා ගනිති. ඒ ජාතියෙහිදී ම රහත්වීමේ බලාපොරොත්තුවෙන් අතීතයේ මහණදම් පිරූ ඇතැම් භික්ෂූන් ගමනෙහිදී උපන් ක්ලේශය ගමනෙහිදී ම ද, සිටීමේදී උපන් ක්ලේශය සිටීමේදී ම ද, හිඳීමේ දී උපන් කලේශය හිඳීමෙහිදී ම ද, ශයනයෙහිදී උපන් ක්ලේශය ශයනෙහිදී ම ද සන්සිඳුවා ගනිමින් මහණ දම් පිරූ බව දහම් පොත් වල සඳහන් ව ඇත්තේ ය. සාමාන්‍ය ජනයාගේ සිත් නිතරම පවතින්නේ කෙලෙසුන් ගෙන් දූෂිතව ය. කෙලෙසුන් නො හඳුනන බැවින් ඔවුහු ඒ බව නො දනිති. එබැවින් ඔවුහු උපන් ක්ලේශය සන්සිඳවීමට උත්සාහ නො කෙරෙති. කෙලෙසුන් නැඟී නො එන ලෙස විසිය හැකි වීමට හා උපන් ක්ලේශය දුරු කර ගත හැකි වීමට කෙලෙසුන් හැඳින ගත යුතුය.

කෙලෙස් එක් දහස් පන්සියය සැකෙවින් දැක්වීම

විභංගප්‍ර‍කරණයේ ඛුද්දකවත්ථු විභංගයේ:-

එක බැගින් දැක්වෙන ධර්ම

73

දුක වශයෙන් දැක්වෙන

36

ත්‍රික වශයෙන් දැක්වෙන

105

චතුෂ්ක වශයෙන් දැක්වෙන

56

පඤ්චක වශයෙන් දැක්වෙන

75

ෂට්ක වශයෙන් දැක්වෙන

84

සප්තක වශයෙන් දැක්වෙන

49

අෂ්ටක වශයෙන් දැක්වෙන

64

නවක වශයෙන් දැක්වෙන

81

දශක වශයෙන් දැක්වෙන

70

බ්‍ර‍හ්මජාල සූත්‍රයෙහි දැක්වෙන දෘෂ්ටි

62

එකතුව

755

මේ ධර්ම සත්සිය පස්පනස උත්පන්න අනුත්පන්න භේදයෙන් ගන්නා කල්හි එක්දහස් පන්සිය දසයක් වේ. නොයෙක් නම් වලින්න දේශනය කර ඇත්තා වූ ඒ සියල්ලෝ ම සිත කිලිටි කරන ධර්මයෝ ය. අධික වූ දශය ගණනට නො ගෙන ඒ ධර්ම සමූහයට කෙලෙස් එක්දහස් පන්සියය යි කියනු ලැබේ. මේ ධර්මසංගණී මූලටිකාවේ දක්වා ඇති ක්‍ර‍මය ය.