පව්කම් කොට ඒවා සඟවන ස්වභාවය මායා නම් වේ. ඇතැම්හු තුමූ ම අනුන්ගේ බඩු සොරකම් කර හිමියා වෙත ගොස් ශෝකය පළ කෙරෙති. නැති වූ බඩු සෙවීමට සහාය වෙති. මේ මායාව ය. ඇතැම් පැවිද්දෝ ද තමන් කරන ලද වරද වසා ගැනීම සඳහා මහත් සංවරයක් දක්වති. වත් පිළිවෙත් කරති. මල් පහන් පුදති. ඒවායේ ආදීනව කියා දහම් දෙසති. අන්‍යයන් වරද කිරීම ගැන ශෝකය පළ කරති. බුදු සසුන බබලවන්නට සිල්වතුන් ඇති කරන්නට කථා කරති. මේ මායා කාරයන්ගේ ස්වභාවය ය. මායාවට බොහෝ දෙනා රැවටෙන්නාහ.මායාකාර මායාකාර තවුසකු ගැන ඇති ජාතක කථාවක් මෙසේ ය:-
අතීතයේ එක් ගමක් ඇසුරු කරමින් කූට තවුසෙක් විසීය. ඔහුගේ ඉරියව් දැක ඔහු කෙරෙහි පැහැදුණු ගම් වැසියෙක් ඔහුට වනයෙහි පන්සලක් සාදා දී එහි වාසය කරවා තමාගේ ගෙහි ම ඔහුට ප්‍රණීත භෝජනයෙන් උපස්ථාන කෙළේය. මේ වැසියා කූට තාපසයා මහ සිල්වතෙකැයි සිතා තමා වෙත තුබූ රන්කාසි සියයක් ආරක්ෂාව සඳහා කූට තවුසාගේ අසපුවට ගෙන ගොස් පොළොවෙහි වළලා “ස්වාමීනි, මෙය බලාගන්නය”යි කීය. “පින්වත, පැවිද්දන්ට මෙවැනි කරුණු කීම නුසුදුසු ය. අපට අන් සතු වස්තුවෙහි ලෝභයක් නැතය”යි තවුසා කීය. ගම් වැසියා “එසේය ස්වාමීනි” යි කියා ඔහුගේ කීම විශ්වාස කොට පෙරළා ගියේය. දින කීපයකට පසු කූට තවුසා “මට වූයේ ගජ වාසියෙක, මේ මුදල මටසැපසේ ජීවත් වන්නට සෑහෙන්නේ ය” යි බිම කැණ රන්කාසි සියය ගෙන වනයේ අන් තැනක සඟවා එදින පන්සලට වී සිට පසු දින ගම් වැසියාගේ නිවසට ගොස් ඔහු පිළියෙල කර තුබූ ප්‍රණීත භෝජනය බඩ පුරා වළඳා දායකයාට කථා කොට, “පින්වත, අප ඔබ නිසා බෝ කලක් වාසය කර ඇත්තේ ය. වැඩි කල් එක් තැන විසීම පැවිද්දන්ට නුසුදුසු ය. එසේ විසීමෙන් ගිහියන් හා බන්ධනයක් වන්නේ ය. එය පැවිද්දට කිලුටෙක. එබැවින් මම අන් තැනකට යෙමි”යි කීය. ගම් වැසියා නො යන ලෙස නැවත නැවත යාච්ඤා කළ නමුත් තවුසා එය ප්‍රතික්ෂේප කෙළේය. එකල්හි ගම්වැසියා තවුසා පිටත් කොට ගම් දොර දක්වා පසු ගමන් කොට පෙරළා ආයේය. කූට තවුසා මඳක් දුර ගොස් ගම්වැසියා වැඩි දුරටත් රවටන්නට සිතා ජටාවෙහි තණපටක් රඳවා ගෙන ඒ නිවසට නැවත ද ආයේ ය. ගම්වැසියා තවුසා දැක “ස්වාමීනි, කුමට පෙරළා වැඩම කළ සේක්දැ”යි ඇසූ කල්හි “පින්වත, ඔබගේ නිවසේ පියැස්සෙන් එක් තණපතක් මාගේ ජටාවෙහි රැඳී තිබුණේ ය. සුළු වූ ද අන් සතු දෙයක් ගෙන යාම පැවිද්දන්ට නුසුදුසු බැවින් එය ගෙන ආමි”යි කීය. ගම්වැසියා “ස්වාමීනි, තණපත විසි කර යනු මැනවැ”යි කියා මාගේ තාපසයන් වහන්සේ තණපතක් පමණ වූද, අන්සතු වස්තුවක් නො ගනිතියි වඩාත් පැහැදී වැඳ තවුසා පිටත් කෙළේය.
බෝසතාණන් වහන්සේ බඩු සෙවීම පිණිස ප්‍රත්‍යන්තයට ගියාහු එදින ඒ ගෙයි නවාතැන් ගෙන සිටියහ. උන්වහන්සේ ඒ ක්‍රියාව දැක සැක සිතී “යහළුව, ඔබ මේ තවුසා වෙත කිසි ධනයක් තබා ඇත්තේ දැ”යි අසා එසේය යි කී කල්හි වහා ගොස් විමසන්නය යි කීහ. ගම්වැසියා වහා ගොස් බලා රන් කාසි සියය නො දැක වහා අවුත් ඒ බව බෝසතාණන්ට කීය. එකල්හි බෝසතාණෝ “ඔබගේ මුදල් ගත්තේ අනිකකු නොව මේ කූට තවුසා ම ය. වහා ගොස් ඔහු අල්ලා ගෙනෙවු”ය යි ගම්වැසියන් කැඳවා ගෙන ලුහුබැඳ ගොස් තවුසා අල්ලා තවුසාට අතින් පයින් තළා රන් කාසි ලබා ගත්හ. බෝසතාණෝ මතු එබඳු පව්කම් නො කරන ලෙස අවවාද කොට තාපසයා පිටත් කළහ. මායා කාරයෝ ඒ කූට තවුසා වැන්නෝ ය.
ලාභ සත්කාරාශාවෙන් තමා තුළ නැති ගුණ ඇති ලෙස හැඟවීම සාඨෙය්‍ය නම් වේ. දුශ්ශීලව හිඳ සිල්වතකු බව හඟවන ස්වභාවය, ගමෙහි වෙසෙමින් ආරණ්‍යකයකු ලෙස හඟවන ස්වභාවය, ශ්‍රද්ධාව නැති ව ශ්‍රද්ධාව ඇතියකු ලෙස හඟවන ස්වභාවය, උගතකු නොවී උගතකු ලෙස හඟවන ස්වභාවය, පෘථග්ජනව සිට ආර්‍ය්‍යයකු ලෙස හඟවන ස්වභාවය සාඨෙය්‍ය නම් ක්ලේශය ය. මායා සාඨෙය්‍ය යන මේ දෙක තරමක් එකිනෙකට සමාන ය. ධ්‍යානාභිඥා මාර්ග ඵල යන මේ උත්තරී මනුෂ්‍ය ධර්මයන්තමා කෙරෙහි නැතිව ඇතය යි පැවසීම ඉතා ම නපුරු පාපයෙකි.
සදේවකෙ භික්ඛවේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමණ-බ්‍රාහ්මණියා පජාය සදේවමනුස්සාය අයං අග්ගෝ මහා චෝරෝ යෝ අසන්තං අභූතං උත්තරී මනුස්සධම්මං උල්ලපති.
(පාරාජිකා පාලි)
මහණෙනි, යමෙක් තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍ය ධර්මය ඇතැයි පවසා නම් හෙතෙමේ දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණබ්‍රාහ්මණයින් සහිත දෙව් මිනිසුන් සහිත සත්ත්ව සමූහයෙහි අග්‍ර වූ මහා චෞරයාය යනු එහි තේරුම ය.