31. මුට්ඨසච්චං 32. අසම්පජඤ්ඤං

සිහිය නැති බව සිහිමුළා බව මුට්ඨසච්ච නම් වේ. සර්පයන් දෂ්ට කිරීමෙන් ද, ඇතැම් බලවත් රෝගවලින් ද, අධික ව ලේ ගැලීමෙන් ද, ඇතැම් බෙහෙත් වලින් ද මිනිසාට කිසිවක් නො දැනෙන ස්වභාවයක් ඇති වේ. එයට ද සිහි නැති වීමය යි කියති. උමතු රෝග වැළඳීමෙන් ද සිහිය අවුල් වේ. එයට ද සිහි නැති වීම යයි ද සිහි මුළා වීම යයි ද කියති. මුට්ඨසච්ච යනුවෙන් අදහස් කරන්නේ ඒ සිහි නැති වීම හෝ සිහි මුළාව නො වේ. පෘථග්ජන පුද්ගලයා ගේ සිත ස්වභාවයෙන් පඤ්චකාමයට හා අකුශලයට ඇදී නැමී බරව පවතී. “මධුවා මඤ්ඤති බාලෝ”යි වදාළ පරිදි ඔහුට අකුශලය මී සේ මිහිරිය. “පාපස්මිං රමතී මනෝ”යි වදාරා ඇති පරිදි පෘථග්ජන චිත්තය පාපයෙහි සතුට ලබන්නේ ය. දාන ශීල භාවනා යන මේවා පෘථග්ජන සිතට අමිහිරි ය. අප්‍රිය ය. එබැවින් සිත කුශලයට යැවිය හැකි වීමට කුශල් සිත් ඇති වීමට අකුශලයෙන් ඇද ගැනීමට සමත් විශේෂ බලයක් තිබිය යුතු ය. සතිපට්ඨාන සතින්ද්‍රිය සතිබල සතිසම්බොජ්ඣංග සම්මා සති යන නම් වලින් හඳුන්වන සති චෛතසිකය ඒ බලය ය. මෙහි සිහිය යි කියනුයේ ඒ බලයට ය. සෑම කුශලයක් ම ඇති වන්නේ ඒ බලයෙන් ය. ඒ බලය සමග ය. සෑම කුශල සිතක් සමග ම ඒ බලය ඇත්තේ ය. එය නැති වනු සමග ම ඇති වන්නේ අකුශල සිත් ය. මෙහි මුට්ඨසච්චය යි කියන ලද්දේ ඒ සිහියේ නැති බවට ය. දොළොස් අකුශල චිත්තයන් ගේ ඇති බවට ය.

අනිත්‍ය වූ නාම රූප ධර්මයන් නිත්‍යය යි වරදවා ගන්නා වූ ද, දුක් වූ නාම රූප ධර්මයන් සැපය යි ගන්නා වූ ද, සත්ව පුද්ගල ආත්ම නො වන නාම රූප ධර්මයන් සත්ත්වයෝ ය, පුද්ගලයෝ ය යි වරදවා ගන්නා වූ ද මෝහය අසම්පජඤ්ඤ නම් වේ. අවිද්‍යාව යනු ද එයට ම නමෙකි. අවිද්‍යාව මෙහි අන් තැනක විස්තර කර ඇත.