පඤ්ච කම්මානි ආනන්තරියානි:

star_outline

41. මාතා ජීවිතා වෝරෝපිතා හෝති.

42. පිතා ජීවිතා වෝරෝපිතා හෝති.

43. අරහන්තෝ ජීවිතා වෝරෝපිතෝ හෝති.

44. දුට්ඨෙන චිත්තේන තථාගතස්ස ලෝහිතං උප්පාදිතං හෝති.

45. සංඝෝ භින්නෝ හෝති.

මවගේ දිවි තොර කිරීමය, පියාගේ දිවි තොර කිරීමය, රහත් නමකගේ දිවි තොර කිරීමය, ද්වේෂ සහගත සිතින් ලොවුතුරා බුදුකෙනකුගේ ශරීරයේ ලේ ඉපදවීමය, සංඝයා භේද කිරීමය, මේ අකුශල කර්මයෝ ආනන්තර්‍ය්‍ය කර්මයෝ ය.

ආනන්තර්‍ය්‍ය කර්මය යනු මරණයට අනතුරුව දෙවන භවයේ ඒකාන්තයෙන් විපාක දෙන කර්මය ය. එක් එක් පුද්ගලයකුට මතු විපාක දීමට සමත් බොහෝ කුශලාකුශල කර්ම ඇත්තේ ය. මරණින් මතු දෙවන ප්‍රතිසන්ධිය ඇති කරන්නේ ඒ කුශලාකුශලකර්මයන් අතුරෙන් යම් කිසි එක් කර්මයකිනි. මව මැරීම ආදි කර්ම පස අතුරෙන් යම් කිසිවක් කර ඇති තැනැත්තාගේ, අන්‍ය සියලුම කුශලාකුශල කර්මයන් යටපත් කොට ඒ කර්මය ම දෙවන ජාතියේ මුලින් ම විපාක දෙන්නේ ය.

“තස්ස විපාකං පටිබාහිස්සාමීති සකලචක්කවාළං මහා චේතිප්පමාණෙහි කඤ්චන ථූපෙහි පුරෙත්වා පි සකලචක්කවාළං පුරෙත්වා නිසින්න භික්ඛුසංඝස්ස මහා දානං දත්වාපි බුද්ධස්ස භගවතෝ සංඝාටිකණ්ණං අමුඤ්චිත්වා විචරිත්වා පි කායස්ස භෙදා නිරයමෙව උප්පජ්ජති.

(ඤාණවිභංගට්ඨකථා)

තේරුම:

“ඒ ආනන්තර්‍ය්‍ය කර්මයාගේ විපාකය වළක්වමියි මුළු සක්වළ පුරා රුවන්වැලි මහාසෑය පමණ ඇති චෛත්‍යවලින් පුරවාද, මුළු සක්වළ පුරා වැඩ සිටින මහා සංඝයාහට මහා දානයක් දී බුදුන් වහන්සේගේ සඟළ සිවුරු කොන නො හැර හැසිර ද මරණින් මතු නරකයෙහි ම උපදී”

මාතෘඝාත පීතෘඝාත කර්මදෙක දක්වා ඇත්තේ මනුෂ්‍යයන් සම්බන්ධයෙනි. මනුෂ්‍ය ජාතික දරුවකු විසින් මනුෂ්‍ය ජාතික වූ ම මවගේ හෝ පියාගේ දිවි තොර කිරීමෙන් ම කර්මය ආනන්තර්‍ය්‍ය වේ. මනුෂ්‍ය දරුවකු විසින් තිරිසන්ගත මවකු හෝ පියකු මැරුව ද තිරිසනකු විසින් මනුෂ්‍ය වූ හෝ තිරිසන් වූ හෝ මවක් හෝ පියෙක් මරණ ලදුයේ නම් ඔහුගේ කර්මය ආනන්තර්‍ය්‍ය නො වේ. ආනන්තර්‍ය්‍ය කර්මයට ළංවන බරපතල අකුශලයක් ඔහුට වේ. අරහන්තඝාතනය ආනන්තර්‍ය්‍ය වන්නේ ද මනුෂ්‍ය රහත් කෙනකු මැරීමෙනි. අමනුෂ්‍යයන් අතර ද රහතුන් සිටිය හැකි ය. අමනුෂ්‍ය රහතුන් මැරීමේ කර්ම ආනන්තර්‍ය්‍ය නොවේ. බරපතල අකුශල කර්මයක් වේ. සෝවාන්, සකෘදාගාමි, අනාගාමී, ආර්‍ය්‍ය පුද්ගලයන්ගේ දිවි නැසීම ද ආනන්තර්‍ය්‍ය කර්මයට ළං වන බරපතල අකුශල කර්මයකි. මරණු සඳහා යම් කිසි පුද්ගලයකුට පහර දුන් පසු හෝ විෂ දුන් පසු හෝ ඔහු රහත් වී ඒ ආබාධයෙන් කලුරිය කළේ නම් පහර දුන් පුද්ගලයාට ආනන්තර්‍ය්‍ය කර්මයක් වේ. පෘථග්ජන පුද්ගලයකුට පිරිනැමූ දානයක් ඔහු රහත් වී වැළඳූයේ ද, දායකයාට හිමි වන්නේ පෘථග්ජනයකුට දීමේ කුශලය ය. එයට හේතුව ප්‍රාණඝාත කර්මයාගේ සිද්ධිය සත්ත්වයා ගේ මරණයෙන් සිදු වීම ය. මරනු සඳහා පහර දුන ද එයින් නො මළහොත් ප්‍රාණඝාත කර්මය සිදු නො වේ. දානමය කුශලයේ සිද්ධිය ප්‍ර‍තිග්‍රාහකයාගේ පරිභෝගයෙන් වන්නේ නොවේ. ප්‍ර‍තිග්‍රාහකයා ගේ පරිභෝග කිරීම හෝ නො කිරීම දානමය කුශලයාගේ සිද්ධාසිද්ධියට කරුණක් නොවේ. එය දානවස්තුවදුන් සැටියේ ම සිද්ධියට පැමිණේ. එබැවින් දානය රහත් වී වැළඳීමෙන් දායකයාට අමුතු පිනක් නොවේ.

බුදුවරුන්ගේ ජීවිතය කිසිවෙකුට නො නැසිය හැකිය. බුද්ධඝාතක කර්මයක් කිසිකලෙක සිදු නො වේ. බුද්ධ ශරීරයේ සම ද උන්වහන්සේගේ කැමැත්ත නැතිව කිසිවකුට සිදුරු නො කළ හැකි ය. දේවදත්ත විසින් බුදුන් වහන්සේ නැසීම සඳහා පෙරළා යැවූ ගලෙන් ගැළ වී ගිය පතුර තථාගතයන් වහන්සේගේ පා කෙළවර වැදී පොරෝ පහරක් දුන් කලෙක මෙන් තථාගතයන් වහන්සේගේ ශරීරයය කාගෙන ගියේ ය. එහෙත් සම සිරු නොවීය. එතැනට ලේ එකතු විය. එසේ කිරීම ලෝහිතුප්පාද නම් ආනන්තර්‍ය්‍ය කර්මය ය. ජීවක වෛද්‍යවරයා තථාගතයන් වහන්සේගේ කැමැත්ත පරිදි සැතකින් සම පලා දූෂිත ලෙය ඉවත් කොට ඒ ආබාධය සුව කෙළේ ය.

බුදුරදුන් පිරිනිවීමෙන් පසු චෛත්‍ය බිඳීම, බෝ රුක් සිඳීම, ධාතූන් නැති කිරීමට උපක්‍ර‍ම කිරීම යන මේවා ද ආනන්තර්‍ය්‍ය කර්මයට ළං වන බලවත් පාප කර්මයෝ ය. බුදු පිළිමය උද්දේශික චෛත්‍ය වන බව ද සැලකිය යුතුය. සධාතුක චෛත්‍යයකට හෝ බුදු පිළිමයකට බාධා වන බෝ අතු සිඳ දැමීම වරද නැති බව කියා තිබේ. චෛත්‍යය බිඳ ගෙන යන බෝ මුල් ඉවත් කිරීම ද සුදුසු බව කියා ඇත. බෝධිඝර බෝධිප්‍රාකාර මලසුන් රැකීම සඳහා බෝ අතු හෝ බෝ මුල් කැපීම වරදය. මලසුන් ගෙයක සර්වඥධාතූන් තැන්පත් කර ඇති නම් එය රැකීම පිණිස බෝ මුල් බෝ අතු ඉවත් කිරීම සුදුසු ය.

සංඝභේද කර්මය කළ හැක්කේ උපසපන් භික්ෂුවකට ය. ගිහියකුට හෝ අනුපසම්පන්න පැවිද්දකුට එය නො කළ හැකි ය. සංඝකර්ම කළ යුත්තේ සීමාවකට රැස් වූ සියලු භික්ෂූන්ගේ ම සමානච්ඡන්දයෙනි. එක් භික්ෂුවකුදු විරුද්ධ නම් කර්මය කිරීම නුසුදුසු ය. සීමාවකට සංඝයා රැස් වූ කල්හි යම් කිසි භික්ෂුවක් රැස් වූ සංඝයාගෙන් කොටසක් තමාට පක්‍ෂ කර ගෙන පාමොක් උදෙසීම හෝ අන් සංඝ කර්මයක් හෝ කෙළේ නම් එය සංඝයා භේද කිරීම ය. ආනන්තර්‍ය්‍ය කර්මයන්ගෙන් වඩා බලවත් අකුශල කර්මය සංඝභේද කර්මය ය. “සංඝභේදකෝ ආපායිකෝ නේරයිකෙද කප්පට්ඨෝ අතේකිච්ඡෝ” යනුවෙන් සංඝ භේදකයා කල්පයක් අපා දුක් විඳින්නකු බව පරිවාර පාළියෙහි දක්වා ඇත්තේ ය. ඉතිරි ආනන්තර්‍ය්‍ය කර්ම කළවුන් ගැන අපා දුක් විඳීමේ කාල නියමයක් නැත. ආනන්තර්‍ය්‍ය කර්ම පිළිබඳ අටුවාවල දැක්වෙන විස්තරයත් අවුල් එකකි. ඒවායේ තවත් මුද්‍ර‍ණ දෝෂ ලිපි දෝෂ ද ඇත්තේ ය. ඒවා ගැන විස්තර කරන්නට ගිය හොත් අතිදීර්ඝ වන බැවින් ආනන්තර්‍ය්‍ය කර්ම විස්තරය මෙතෙකින් අවසන් කරමු.