43. යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං පුබ්බේ කත හේතු.
44. යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං ඉස්සර නිම්මාන හේතු.
45. යං කිඤ්චායං පුරිසපුග්ගලෝ පටිසංවේදේති සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා සබ්බං තං අහේතු අප්පච්චය.
මේ සත්ත්වයා යම්කිසි සැපක් හෝ දුකක් හෝ මධ්‍යස්ථාකාරයක් හෝ විඳී නම් ඒ සියල්ල විඳින්නේ පෙර කළ කර්ම හේතුවෙන් ය යනු එක් දෘෂ්ටියෙකි. එය පූර්වකෘත හේතුවාදය ය. මේ නිගන්ඨයන්ගේ දෘෂ්ටිය ය. මේ අදහස ඇතැම් බෞද්ධයන්ට ද නැත්තේ නො වේ.
තථාගතයන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වෙසෙන අවස්ථාවක මෝලිය සීවක නම් පිරිවැජියෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ “පින්වත් ගෞතමයන් වහන්ස, මේ සත්ත්වයා යම් කිසි සුවයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳී නම් එය පෙර කළ කර්ම හේතුවෙන්ය යි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියන්නාහ. ඔබ වහන්සේ මේ කරුණ ගැන කුමක් කියන සේක්දැ” යි විචාළේ ය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ “සීවක, පිත නිසා ද ඇතැම් ශාරීරික වේදනාවෝ උපදිති. එය තමාට ම ද දත හැකි ය. ලෝකයා විසින් ද පිළිගන්නා ලද්දකි. සීවක, සත්ත්වයා යම් සැපයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳී නම් ඒ සියල්ල පෙර කර්ම හේතුවෙන් යයි ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ කියත් නම්, ඔවුහු තමාට ම දැනෙන දෙය ගැන ද අතිධාවනය කරන්නෝ ය. ලෝකයා විසින් සත්‍යයයි සම්මත කරන ලද්ද අතිධාවනය කරන්නෝ ය. එබැවින් මම ඒ ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගේ කීම මිථ්‍යාවකැයි කියමි’යි වදාළ සේක. එසේ ම සෙමෙන් හට ගන්නා වේදනා ගැන ද, වාතයෙන් හටගන්නා වේදනා ගැන ද, සන්නිපාතයෙන් (දොස් දෙකක් හෝ තුනක් එකතු වීමෙන්) හට ගන්නා වේදනා ගැන ද, සෘතු විර්‍ප්‍යාසයෙන් හට ගන්නා වේදනා ගැන ද, ශරීරය නුසුදුසු ලෙස පරිහරණය කිරීමෙන් වන වේදනා ගැන ද, පරෝපක්‍රමයෙන් වන වේදනා ගැන ද, කර්ම විපාක වශයෙන් වන වේදනා ගැන ද වදාළහ. ඒ දේශනය අසා පැහැදී සීවක පිරිවැජි තෙමේ බුදුන් සරණ ගියේ ය. මේ සංයුත්ත නිකායේ වේදනා සංයුත්තයේ එන සූත්‍රයක අදහස ය. ඒ සූත්‍රයේ දැක්වෙන පරිදි
“පිත්තසමුට්ඨානන වේදනා
සෙම්හසමුට්ඨාන වේදනා
වාතසමුට්ඨාන වේදනා
සන්නිපාතක වේදනා
උතුපරිණාමජ වේදනා
විසමපරිහාරජ වේදනා
ඔපක්කමික වේදනා
කම්මවිපාකජ වේදනා” යි
වේදනා අටක් ඇත්තේ ය.
සීතලය, උෂ්ණය, විෂම භෝජනය යන කරුණු වලින් පිත කිපෙන බව නාගසේන ස්ථවිරයන් විසින් වදාරා ඇත්තේ ය. යම්කිසිවකින් පිත කෝප වීමෙන් ශරීරයේ හට ගන්නා වේදනා ද මේ ආබාධයෙන් මා මැරෙනු ඇතැයි බිය වී දන් දෙන, සිල් රකින, පෙහෙවස් රකින අයට ඇති වන කුශල වේදනා ද, පිත සන්සිඳවීම සඳහා බෙහෙත් සැපයීමට ප්‍රාණඝාත අදත්තාදානාදි පව්කම් කරන්නවුන්ට ඇතිවන අකුශල වේදනා ද යන මේ සියල්ල පිත්ත සමුට්ඨාන වේදනා ය. සිතින් ශරීරය දැවෙන කල්හි දුඃඛ වේදනා උපදී. බෙහෙත් කිරීමෙන් එය සන්සිඳෙන කල්හි සුඛ වේදනා උපදී. දානාදි පින්කම් හා ඇතැම් පව්කම් කිරීමේ දී සෝමනස්ස උපේක්ෂා වේදනා උපදී. බෙහෙත් කොට සුවයක් නො ලැබ, වන්නක් වේවා යි නිදන තැනැත්තාට ද උපේක්ඛා වේදනා ඇති වේ.
ශීතය, උෂ්ණය, ආහාරය යන මේවායින් සෙම කිපෙන බවත්, ශීතය, උෂ්ණය, සාගින්න, පිපාසාව, අධික කොට ආහාර වැළඳීම, වැඩි කල් සිටගෙන සිටීම, වීර්‍ය්‍ය කිරීම, දිවීම, උපක්‍රමය, කර්මය යන මේ කරුණු වලින් වාතය කිපෙන බවත් මිළින්දපඤ්හයේ දක්වා ඇත්තේ ය. පිත, සෙම, වාතය යන තුන ම එක්වර කිපීමෙන් ද දෙකක් එකවර කිපීමෙන් ද වන වේදනා සන්නිපාතික වේදනා ය. සෙම්හසමුට්ඨාන වාත සමුට්ඨාන සන්නිපාතික වේදනා විස්තරය පිත්ත සමුට්ඨාන වේදනාව විස්තර කර ඇති අයුරින් තේරුම් ගත යුතු ය.
ශීත ප්‍රදේශයක වාසය කරන්නන්ට උෂ්න ප්‍රදේශයකට ගිය කල්හි ද, උෂ්ණ ප්‍රදේශයක වාසය කරන්නන්ට ශීත ප්‍රදේශයකට ගිය කල්හි ද, වාසය කරන ප්‍රදේශයේ ම සෘතුව වෙනස් වූ කල්හි ද, හටගන්නා සුඛ දුඃඛ උපේක්ෂා වේදනාවෝ උතුපරිණාමජ වේදනාවෝ ය. යම්කිසිවකුගේ උපක්‍රමයකින් තොරව ඇතිවන වැසි/නියං/ජල ගැලීම්/සැඩ සුළං/ගිනි/භූමි කම්පා/ගෙවල් බිඳ වැටීම්/ගස ඇද වැටීම් ආදියෙන් වන වේදනා ද උතුපරිණාමජ වේදනා වශයෙන් ම සැලකිය යුතු ය. කටු හැණීම්, උල් හැණීම්, ගල්මුල් වල සැපීම්, වාහනවල සැපීම්, යන්ත්‍රවලට අසුවීම් ආදියෙන් පරෙස්සම් නො වන්නවුන්ට ඇති වන වේදනා විෂමපරිහරජ වේදනා ය. සතුරන් පහර දීම්, සතුන් සපා කෑම් ආදියෙන් වන වේදනා ඕපක්කමික වේදනා ය. මේ කරුණු සත හැර අතීත කර්මයෙන් හට ගන්නා වේදනා කර්මවිපාකජ වේදනා ය. ආහාර නො ලැබීම්, පැන් නො ලැබීම්, වස්ත්‍ර වාසස්ථාන නො ලැබීම් ආදියෙන් වන වේදනා කර්ම විපාකජ වේදනාවන්ට අයත් ය.
කර්මය වේදනා උපදවන්නේ ද වාත පිත්තාදියේ සම්බන්ධය ද ඇතිව ය. එසේ නැත ව කර්මය ම ශාරීරික වේදනා ඉපදවීමට සමත් නො වේ. වාතය කිරීමෙන් හෝ සෙම කිපීමෙන් හෝ පිත කිපීමෙන් හෝ වේදනාවක් හට ගත් කල්හි එය කර්ම විපාකජ වේදනාවක් ද වාතාදින් ගේ කෝපය නිසා ම වේදනාවක් ද යන බව තේරුම් ගැනීමට ක්‍රමයක් නැත. වාත කෝපාදියෙන් වන වේදනා බොහෝ බවත් කර්ම විපාකජ වේදනා මඳ බවත් පමණක් කිව යුතු ය.
“ඉති ඛෝ මහාරාජ අප්පං කම්මවිපාකජං, බහුතරං, අවසෙසං තත්ථ බාලා සබ්බං කම්මවිපාකජං යේවාති අතිධාවන්ති. තස්ස කම්මස්ස න සක්කා විනා බුද්ධඤාණෙන වවත්ථානං කාතුං”
(මිළින්දපඤ්හ)
මහරජ, කර්මවිපාකජ වේදනා මඳය. ඉතිරි වේදනා ම බොහෝ ය. එහි බාලයෝ සියලු වේදනා කර්ම විපාකජය යි අතිධාවනය කෙරෙති. ඒ කර්මයාගේ ව්‍යවස්ථාව බුද්ධ ඤාණය හැර අනිකකින් නො කළ හැකිය යනු එහි තේරුමයි.
“පුරිමේහි සත්තහි කාරණෙහි උප්පන්නා සාරීරිකා වේදනා සක්කා පටිබාහිතුං, කම්ම විපාකජානං පන සබ්බ හේසජ්ජානිපි සබ්බරිත්තානිපි නාලං පටිඝාතාය.”
(සංයුත්තට්ඨ කථා)
යනුවෙන් පළමු කී කරුණු සතෙන් උපන් ශාරීරික වේදනාවන් දුරු කළ හැකිය. කර්ම විපාකජ වේදනා දුරු කිරීමට සියලු බෙහෙත් සියලු පිරිත් සමර්ථ නො වන්නේ යයි සංයුක්තට්ට කථාවෙහි දක්වා ඇත්තේ ය.
සත්ත්වයා යම්කිසි සුඛයක් හෝ දුඃඛයක් හෝ උපේක්ෂාවක් හෝ විඳින්නේ නම් ඒ සියල්ල විඳින්නේ ඊශ්වරයකු විසින් මවනු ලැබීම නිසාය යනු එක් දෘෂ්ටියකි. ඒ ඊශ්වර නිර්මාණ වාදය ය. ම් වාදය බ්‍රාහ්මණ සමය යි අටුවාවෙහි කියා තිබේ. බ්‍රාහ්මණයන් ගේ පිළිගැනීම බ්‍රහ්මයා විසින් සත්ත්වයන් මවනු ලැබූ නිසා සත්ත්වයෝ සුවදුක් ලබත්ය කියා ය. මේ වේදනාවන් වර්තමාන භවයේ සත්ත්වයා විසින් කරන ලද්දකින් හෝ කෙනකුගේ ආඥාවකින් හෝ පෙර කළ කර්මකින් හෝ හේතුවක් නැතිව ම හෝ ඇති විය නො හැකි ය. මේවා ඇති වන්නේ බ්‍රහ්මයාගේ මැවීම නිසා ම ය යනු ඔවුන්ගේ අදහස ය. එබැවින් ඔවුහු පිත්ත සෙම්හාදි වේදනා හේතු ප්‍රතික්ෂේප කෙරෙති.
සත්ත්වයා යම්කිසි සුවයක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් හෝ විඳි නම් ඒ සියල්ල විඳින්නේ කිසි හේතුවක් නැතිවය යනු එක් දෘෂ්ටියෙකි. එය අහේතුක වාදය ය. වා පිත් සෙම් ගිනි ගල් මුල් ආදියෙන් වේදනා ඇති වීම නිසා ඉතා ප්‍රකටව තිබියදී වේදනාව ඉබේම ඇති වන අහේතුක දෙයකැයි කීම මෝඩ බොළඳ කථාවකැයි සිතෙන්නට පිළිවන. එසේ සිතෙන්නේ මෙය කියවන ඔබගේ නුවණ මඳ බව නිසාය.
සත්ත්වයන් ඉතා ම අගය කොට ඉතා ම ඇලුම් කරන දෙය ද වේදනාව ය. සත්ත්වයාට ඉතා ම අප්‍රිය ඔහු බිය වන දෙයත් වේදනාව ය. ඇලුම් කරන දෙය සුඛ වේදනාව ය. බිය වන දෙය දුඃඛ වේදනාව ය. සත්ත්වයන් අඹු දරුවන්ට නෑයන්ට මිතුරන්ට ඇලුම් කරන්නේ ඔවුන් නිසා සුඛ වේදනාව ඇති වන නිසාය. වස්ත්‍රාභරණ ආහාර පානාදි වස්තූන්ට මිල මුදල්වලට ඇලුම් කරන්නේ ද ඒවායින් සුඛ වේදනාව ඇති වන නිසා ය. ඒවාට ඇලුම් කිරීම වස්තූන්ට ඇලුම් කිරීමක් නොව සුඛ වේදනාවට ඇලුම් කිරීම ය. සතුරන්ට සර්පාදි නපුරු සතුන්ට බිය වන්නේ ද සුඛ වේදනාවට බිය වීම නිසා ය. ඔවුන් නිසා දුඃඛ වේදනාවක් නො වන්නේ නම් ඔවුන්ට බිය නො වන්නාහ. මෙසේ බලන කල්හි මේ වේදනාව ඉතා ප්‍රකට දෙයකි. එහෙත් වේදනාව කුමක් ද? එහි සැටි කෙසේ ද? එය කොහි තිබී එනවා ද? ඇවිත් නැවත කොහි යනවා ද? ඇති වූ වේදනාවට කුමක් වෙනවා ද? සුඛ වේදනාවක් ඇති වූ පසු එය දිගට ම තබා ගත නො හැක්කේ කුමක් නිසා ද? ඒ වේදනාව කුමකින් ඇති වෙනවා ද? කෙනකු විසින් ඇති කරනවා ද? යන මේ කරුණු ඉතා ගැඹුරු ය. දත නො හැකිය. අතකින් ශරීරයක් පිරිමැදීමේ දී සුඛ වේදනාවක් ඇති වේ. ඒ අත ම තද කොට පිරිමැදීම කළ හොත් දුඃඛ වේදනාවක් ඇති වේ. පිරිමැදීමේ දී ඇති වන සුඛය කුමක් ද? දුඃඛය කුමක් ද? ඒවා ඇති කළේ අත ද? අතට සුව දුක් ඇති කළ හැකි ද? අත නොවේ නම් පිරිමදිනු ලබන ශරීරයම ද? ශරීරයට එබඳු හැකියාවක් තිබේ ද? ශරීරය අත යන දෙකට ම හැකියාවක් නැති නම් වේදනාවක් ඇති වූයේ කෙසේ ද? යන මේවා විමසිය යුතු කරුණු ය. මේවා ගැන විමසුවහොත් පිළිතුරක් ලැබිය නො හැකි වුව ද ඔබට වේදනාවේ ගැඹුරු බව වටහා ගත හැකි වනු ඇත. වේදනාව පිළිබඳ පූර්වකෘත හේතු වාදය ඊශ්වර නිර්මාණ වාදය අහේතුක වාදය යන දෘෂ්ටි ලෝකයේ ඇති වූයේ වේදනාව තේරුම් ගත නො හැකි වීම නිසා ය. පූර්වකෘත හේතුවාදාදි මේ දෘෂ්ටි තුනට තිත්ථායතනයෝ යයි කියනු ලැබේ.
තිත්ථායතන යන්නෙහි තේරුම මෙසේය. තිත්ථ යනු දෙසැටක් වූ මිථ්‍යා දෘෂ්ටිවලට නමෙකි. ඒ දෘෂ්ටීන් පිළිගෙන සිටින්නෝ තිත්ථිය (තීර්ථක) නම් වෙති. ආයතන යන වචනයෙන් ඇතිවන ස්ථානය, රැස්වන ස්ථානය, කාරණය යන අර්ථ තුන කියැ වේ. සියලු ම දෘෂ්ටීන් ඇති වන්නේ පූර්වකෘත වූ හේතුවාදාදී වූ මේ කරුණු තුනෙහි ය. එබැවින් අනේක දෘෂ්ටීන් නැතහොත් දෘෂ්ටිගතිකයන් ඇතිවන ස්ථානය බැවින් මේ කරුණු තුන තිත්ථායතන නම් වේ. සියලු ම දෘෂ්ටිගතිකයන් රැස්වන්නේ ද මේ කරුණු තුනෙහි ය. එබැවින් දෘෂ්ටිගතිකයන් රැස්වන ස්ථානය යන අර්ථයෙන් ද මේ කරුණු තුන තිත්ථායතන නම් වේ. අනේකප්‍රකාර දෘෂ්ටීන් හා දෘෂ්ටිගතිකයන් ඇති වීමට හේතු වන්නේ ද මේ කරුණු තුන ය. එබැවින් දෘෂ්ටි හා දෘෂ්ටිගතිකයන් ඇති වීමේ කාරණයෝ ය යන අර්ථයෙන් ද මේ කරුණු තුන තිත්ථායතන (තීර්ථායතන) නම් වේ.