විචිකිච්ඡාව

විචිකිච්ඡාව අභිධර්මයෙහි අෂ්ඨාකාරයකින් ද සබ්බාසව සූත්‍රයෙහි ෂෝඩෂාකාරයකින් ද දේශනය කර ඇත්තේ ය. එය අභිධර්මයෙහි දේශනය කර ඇත්තේ මෙසේ ය.

තත්ථ කථමා විචිකිච්ඡා?

  1. සත්ථරි කංඛති විචිකිච්ඡති
  2. ධම්මේ කංඛති විචිකිච්ඡති
  3. සංඝෙ කංඛති විචිකිච්ඡති
  4. සික්ඛාය කංඛති විචිකිච්ඡති
  5. පුබ්බන්තේ කංඛති විචිකිච්ඡති
  6. අපරන්තේ කංඛති විචිකිච්ඡති
  7. පුබ්බාපරන්තේ කංඛති විචිකිච්ඡති
  8. ඉදප්පච්ඡයතා පටිච්චසමුප්පන්නේසු ධම්මේසු කංඛති විචිකිච්ඡති.

(ඛුද්දකවත්ථු විභංග)

1. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණයෙන් ප්‍ර‍තිමණ්ඩිත ෂට්වර්ණරශ්මිමාලා ඇති ශරීරයක් තිබිය හැකි ද? අතීතානාගත වර්තමාන යන කාලත්‍ර‍යට අයත් සියල්ල දත හැකි නුවණක් තිබිය හැකි ද? දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා රශ්මි මාලාවන් ඇති සියල්ල දන්නා නුවණ ඇති පුද්ගලයකු සිටිය හැකි දැ යි ශාස්තෘන් වහන්සේ ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

2. ක්ලේශ ප්‍ර‍හාණයට ආර්‍ය්‍යමාර්ග සතරක් හා කෙලෙස් සන්සිඳ වූ ඵලධර්ම සතරක් ද සියලු දුක්වල නිමවීම වූ නිර්වාණයක් ද ඇත ද නැත ද කියා නවලෝකෝත්තර ධර්මය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

3. සතර මාර්ග සතර ඵලයන්හි ආර්‍ය්‍ය සංඝ රත්නයක් ඇත්තේ ද මේ සංඝයා සුප්‍ර‍තිපන්න ද නැත ද සංඝ රත්නයට දන්දීමේ විපාකයක් ඇති ද නැති ද කියා සංඝරත්නය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

4. ත්‍රිශික්ෂාවය කියා දෙයක් සත්‍ය වශයෙන් ඇත්තේ ද ඒ ශික්ෂාවන් පිරීමෙන් ප්‍ර‍තිඵලයක් ඇත ද නැත ද කියා ශික්ෂාව පිළිබඳ ව ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

5. අතීත භව පරම්පරාවක් තිබී ද නො තිබී ද කියා අතීත ස්කන්ධයන් පිළිබඳ වූ සැකය එක් විචිකිච්ඡාවෙකි.

6. අනාගත භව පරම්පරාවක් ඇත්තේ ද නැත්තේ ද කියා අනාගත ස්කන්ධයන් ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

7. අතීතානාගත භව පරම්පරා දෙක ම සම්බන්ධයෙන් ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි.

8. මේ සත්ත්වයා හේතුඵල පරම්පරාවක් ද, ඉබේ ම ඇති වූවක් ද, කෙනකු විසින් මවන ලද්දක් ද කියා පටිච්චසමුප්පාදය ගැන ඇති වන සැකය එක් විචිකිච්ඡාවෙකි. මේ අභිධර්මයේ දැක්වෙන විචිකිච්ඡා අටය.

සබ්බාසව සූත්‍රයේ දැක්වෙන ෂෝඩෂාකාර විචිකිච්ඡාව මෙසේ ය.

“අහෝසිං නු ඛෝ අහං අතීතමද්ධානං, න නු ඛෝ අහෝසිං අතීත මද්ධානං, කිං නු ඛෝ අහෝසිං අතීත මද්ධානං, කථං නු ඛෝ අහෝසිං අතීතමද්ධානං, කිං හුත්වා කිං නු ඛෝ අහෝසිං අහං අතීතමද්ධානං භවිස්සාමි නු ඛෝ අහං අනාගතමද්ධානං, නනු ඛෝ භවිස්සාමි, අනාගතමද්ධානං, කිං නු ඛෝ භවිස්සාමි අනාගතමද්ධානං, කථං නු ඛෝ භවිස්සාමි අනාගත මද්ධානං, කිං හුත්වා කිං භවිස්සාමි න ඛෝ අහං අනාගතමද්ධානං, අහං නු ඛෝස්මි, කෝ නු ඛෝස්මි, කිං නු ඛෝස්මි, කථං නු ඛෝස්මි, අයං නුඛෝ සත්තෝ කුතෝ ආගතෝ කුහිං ගාමී භවිස්සති.”

මම අතීතයේ වූයෙම් ද, නොවූයෙම් ද, මම අතීතයේ මනුෂ්‍ය දේව තිරශ්චීනාදීන්ගෙන් කවරක් වූයෙම් ද, මම අතීතයේ කෙබඳු සටහන් ඇතියෙක් වූයෙම් ද, මම අතීතයේ කවරක් වී කවරෙක් වූයෙම් ද, මෙසේ අතීතය පිළිබඳ වූ විචිකිච්ඡා පසෙකි. මම මරණින් මතු අනාගතයෙහි ඇත්තෙම් ද, නැත්තෙම් ද, මම අනාගතයෙහි කවරෙක් වන්නෙම් ද, කෙබඳු කෙනෙක් වන්නෙම් ද, මම අනාගතයෙහි කවරකු වී කවරෙක් වන්නෙම් ද, මෙසේ අනාගතය පිළිබඳ විචිකිච්ඡා පසෙකි. උත්පත්තියේ පටන් මරණය දක්වා පවත්නා වර්තමාන පඤ්චස්කන්ධය ගෙන මේ මම දැ යි සැක කරයි. මේ මම නොවෙම් දැ යි සැක කරයි. මම කවරෙක් ද, මාගේ සැටි කෙසේ ද? මම කොහි සිට මේ භවයට ආයෙම් ද, මෙයින් මම කොහි යන්නෙම් ද? මෙසේ වර්තමාන භවය සම්බන්ධයෙන් ඇති වන විචිකිච්ඡා සයෙකි. මේ සබ්බාසව සූත්‍රයේ දැක්වෙන විචිකිච්ඡා සොළස ය.