103. අයෝනිසෝමනසිකාරෝ 104. කුම්මග්ග සේවනා 105. චේතසෝ ලීනත්තං

කාරණයට නුසුදුසු වන පරිදි පිනෙන් පිරිහෙන පරිදි පව් වැඩෙන පරිදි වැරදි ලෙස සිතීම අයෝනිසෝමනසිකාර නම් වේ. දිළිඳුව අමාරුවෙන් ජීවත් වන්නෙක් මා කුමක් හෝ කොට ජීවත් විය යුතුය. දැහැමි රැකියාවක් නැති බැවින් මා සතුන් මැරීම හෝ කළ යුතුය. සොරකම් හෝ කළ යුතුය. මත්පැන් තනා විකිණීම හෝ කළ යුතු යයි සිතීම අයෝනිසෝ මනසිකාරය ය. ජීවත් වීම සඳහා යහපත් ක්‍ර‍මයක් ගැන කල්පනා කිරීම යෝනිසෝ මනසිකාරය ය. අධර්මයෙන් පොහොසත් වීමට වඩා දිළිඳු බවම යහපතැයි සිතීම යෝනිසෝ මනසිකාරය ය. දැන් මා හට ධනය අඩු වී ගොස් ඇත. එබැවින් දන් දීම නැවැත්විය යුතු යයි සිතීම අයෝනිසෝ මනසිකාරය ය. දුප්පත් වුවද ඇති සැටියකින් දීම කර ගෙන යන්නට සිතීම යෝනිසෝ මනසිකාර ය ය. මට ලැබෙන පඩිය මඳ නිසා අල්ලස් ගැනීම හෝ කළ යුතු යයි සිතීම අයෝනිසෝ මනසිකාරය ය. පිරිමසාගෙන ඇති සැටියකින් දැහැමින් ජීවත් වන්නට සිතීම යෝනිසෝ මනසිකාරය ය. පැවිද්දකු විසින් ලැබෙන ප්‍ර‍ත්‍යය මඳ නිසා සික පද කඩකරමින් නොමනා ලෙස ජීවත් වන්නට සිතීම අයෝනිසෝ මනසිකාරය ය. දුකසේ වුව ද දැහැමින් ජීවත් වන්නට සිතීම යෝනිසෝ මනසිකාරය ය.

නාහං භික්ඛවේ අඤ්ඤං එක ධම්මම්පි සමනුපස්සාමි. යෙන අනුප්පන්නා වා අකුසලා ධම්මා උප්පජ්ජන්තිං උප්පන්නා වා කුසලා ධම්මා පරිහායන්ති. යථයිද, භික්ඛවේ අයෝනිසෝ මනසිකාරෝ. අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා චෙව අකුසලා ධම්මා උප්පජ්ජන්ති. උප්පන්නා ච කුසලා ධම්මා පරිහායන්ති.

(අංගුත්තර එකක නිපාත)

තේරුම :-

“මහණෙනි, යමකින් නූපන් අකුසල ධර්මයෝ උපදිත් ද උපන් කුශල ධර්මයෝ පිරිහෙත් ද මහණෙනි, මේ අයෝනිසෝ මනස්කාරය යම්බඳු ද, එබඳු අන් එක් ධර්මයකුදු මම නො දනිමි. මහණෙනි, කාරණයට අනුකූල නො වන පරිදි මෙනෙහි කරන්නහුට නූපන් අකුශල ධර්මයෝ වැඩෙති. උපන් කුශල ධර්මයෝ පිරිහෙති.”

මේ සූත්‍රයෙහි උපන් කුශලයෝ පිරිහෙතියි වදාරා ඇත්තේ රූපාවචර අරූපාවචර කුශලයන් සඳහා ය. රූපාවචරාරූපාවචර ධ්‍යානයන් ලබා ඇතියෝ සමහර විට අයෝනිසෝ මනසිකාරය නිසා කෙලෙස් ඇති වී ධ්‍යානයෙන් පිරිහෙති. ඔවුහු ධ්‍යානයෙන් නො පිරිහී කලුරිය කළ හොත් ඒ කුශලයේ බලයෙන් බ්‍ර‍හ්ම ලෝකයෙහි උපදිති. ධ්‍යානයෙන් පිරිහුණ හොත් බ්‍ර‍හ්මලෝකයෙහි නූපදිති. පිරිහුණු ධ්‍යාන කුශලයෙන් ඔවුනට අනාගත භව වලදී කිසි විපාකයක් නො ලැබේ. ඒ කුශලය සම්පූර්ණයෙන් ම විපාකය නැති තැනට පැමිණේ. ලෝකෝත්තර කුශලය කිසි කලෙක නො පිරිහේ. එහි විපාකය වූ ලෝකෝත්තර ඵලය එකෙණෙහි ම ලැබේ. ආර්‍ය්‍යයෝ කිසි කලෙක ලෝකෝත්තර ඵලයෙන් නො පිරිහෙති. කාමාවචර කුශලය ද සම්පූර්ණයෙන් නො පිරිහේ. අපර චේතනාව නරක් වීමෙන් එහි බලය හීන වේ. අපුත්තක සිටු ගේ කතාව එයට නිදසුනෙකි.

සැවැත් නුවර බොහෝ ධනය ඇති සිටුවරයෙක් විය. ඔහුට රන් ම ලක්ෂ සියයක් පමණ තිබිණි. ප්‍ර‍මාණයක් නැති තරමට රිදී තිබිණි. එහෙත් ඔහු ඒ ධනයෙන් ප්‍රයෝජනයක් නොගත්තේ ය. ඔහු අනුභව කළේ කාඩි සහ සුනු සහල් බත ය. ඇන්දේ කැබලි තුනක් එක් කොට මසා ගත් හණ රෙදිය. ගමන් කළේ කබල් කරත්තයකිනි. ඔහුට දූ දරුවෝ නුවූහ. මරණින් පසු හිමියකු නැති ඒ ධන සම්භාරය කොසොල් රජතුමා රජ ගෙට ගෙන්වා දෙන අපුත්තක සිටු ගේ පුවත බුදුන් වහන්සේට සැළ කෙළේය. බුදුන් වහන්සේ රජතුමාට අපුත්තක සිටුගේ අතීත කථාව වදාළ සේක. ඒ මෙසේය:

එක් දවසක් පදුමවතී දේවියගේ තුන්වන පුත් වූ තරගසිඛී නම් පසේ බුදුන් වහන්සේ ගන්ධමාදන පර්වතයේ සමවත් සුවයෙන් වැස අලුයම් වේලෙහි අනවතත්ත විලෙන් මුව සෝදා මනෝසිලා තලයෙහි සිට හැඳ කායබන්ධනය බැඳ පාසිවුරු ගෙන අභිඥාපාදක චතුර්ථධ්‍යානයට සමවැදී සෘද්ධියෙන් අහසට නැඟ ගොස් නගරද්වාරයේදී අහසින් බැස නගරවාසීන් ගේ ගෘහ ද්වාරයන්හි දහසින් බැඳි පියල්ලක් තබන්නාක් මෙන් ප්‍ර‍සාදනීය ගමනින් පිළිවෙළින් සිටුතුමා ගේ ගෙදොරට වැඩම කළ සේක. එදින සිටු තෙමේ උදෑසනින් ම ප්‍ර‍ණීත භෝජන අනුභව කොට තෘප්තියට පත් වී ගෙපිළෙහි දත් පිරිසිදු කරමින් සිටියේ ය. සුහිත ව සිටි සිටුවරයාට එදින පසේබුදුන් වහන්සේ දුටු කෙණෙහිම දීමට සිතක් ඇති විය. හෙතෙමේ බිරිය කැඳවා මේ ශ්‍ර‍මණයාට පිණ්ඩපාතය දෙන්න යයි කියා ගියේ ය. සිටු බිරිය සිතන්නී මා මෙතෙක් මොහුගෙන් දෙන්නය යන වචනය අසා නැත. මොහු අද දෙන්න කීයේ ද එසේ මෙසේ කෙනකුට නො වේ, රාගද්වේෂ මෝහයන් ක්ෂය කර සිටින පසේබුදුන් වහන්සේ කෙනකුට ය. මුන් වහන්සේට යන්තමින් දෙයක් නොදී ප්‍ර‍ණීත පිණ්ඩපාතයක් පිළියෙළ කර දෙමිය යි සිතා පසේ බුදුන් වහන්සේ වෙත ගොස් පසඟ පිහිටුවා වැඳ පාත්‍ර‍ය ගෙන ගෙයි අසුනක් පනවා පසේ බුදුන් වහන්සේ එහි වැඩ හිඳුවා පිරිසිදු ඇල්සහලින් බත් පිස සුදුසු ව්‍යංජන හා කැවිලි පිළියෙළ කොට පාත්‍ර‍ය පුරවා, පිට ද සුවඳින් සරසා පසේ බුදුන් වහන්සේට පිළි ගැන්වූවා ය. පසේ බුදුන් වහ්නසේ මෙයින් අන් පසේබුදුවරයන්ට ද සංග්‍ර‍හ කරමි යි සිතා එහි දී පිණ්ඩපාතය නො වළඳා ඇයට අනුමෝදනා කොට පාත්‍ර‍ය ගෙන නික්මුණු සේක. සිටු තුමා පෙරළා එනුයේ පසේ බුදුන් දැක “මම ඔබ වහන්සේට පිණ්ඩපාතය දෙන්නට කියා ගියෙමි. කිමෙක් ද පිණ්ඩපාතය ලදහුදැ”යි ඇසීය. පසේ බුදුන් වහන්සේ “ලදිමි සිටුතුමාණෙනි” කීහ. එකල්හි සිටු හිස ඔසවා පිණ්ඩපාතය කෙසේදැයි බැලීය. එහි සුවඳ වැදී සිටුවරයාට සිත සතුටු කර ගත නො හැකි විය. නිකම් ඉන්නා මේ මහණහුට මේ පිණ්ඩපාතය නො දී මෙය අපගේ දාසයකුට හෝ කම්කරුවකුට හෝ දුන්නේ නම් යහපතකැයි සිතීය. අපර චේතනාව අයහපත් වීමේන ඔහුගේ කුශලය දුබල විය. ඒ පිනෙන් ඔහු සත්වරක් දෙව්ලොව උපන්නේ ය. සත්වරක් සැවැත් නුවර විය. අපරචේතනාව අයහපත්වීමේ දෝෂයෙන් ඔහුට ලද සම්පතින් ප්‍රයෝජන නො ලැබිය හැකි විය. සත්වන වාරයේ සිටු වීමෙන් ඔහු ගේ පින කෙළවර විය මළ සිටු තුමා පෙර කළ පවින් රෞරව නරකයෙහි උපන්නේ ය.

කුම්මග්ගසේවනා යනු වැරදි මඟ ගැනීම ය. මිච්ඡාදිට්ඨි මිච්ඡාසංකප්ප මිච්ඡාවාචා මිච්ඡාකම්මන්ත මිච්ඡාආජීව මිච්ඡාවායාම මිච්ඡාසති මිච්ඡාසමාධි යන අනාර්‍ය්‍යමාර්ගය නො මඟ ය. ඒ මඟ ගත්තෝ එයින් සතර අපායට යෙති.

චේතසෝලීනත්තං යනු කුශලධර්මයන්හි සිත ඉදිරියට නො ගොස් හැකිළෙන බවය. ඒ ථීනමිද්ධය ය. පිනට හැකිළෙන සිත් ඇත්තේ දන් දීමට කථා කළ හොත් වස්තුව ඇත ද ඉදිරිපත් නො වේ. පසුබසී. අන් පින්කමක් ගැන කථා කළ ද වස්තුව බලය ඇත ද එය කිරීමට ඉදිරිපත් නො වේ. ඉදිරිපත් වුව ද කටයුත්ත අතරමග නවත්වයි. සිල් සමාදන් වීමට අලස වේ. භාවනා කිරීමට අලස වේ. එයින් ඔහුට සංසාරය දික් වේ.

ත්‍රික නිර්දේශය නිමි.