ආත්මය අන්තවත්ය යනු එක් වාදයෙකි. ආත්මය අනන්තය යනු එක් වාදයෙකි. ආත්මය අනන්තවත්ද අනන්ත ද වේද යනු එක් වාදයෙකි. ආත්මය අන්ත ඇත්තේ ද නැත්තේ ද නො වේය යනු එක් වාදයෙකි. මෙසේ අන්තානන්තික වාද සතරෙකි.
ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් සක්වළ පමණට මහත් නො වන පරිදි කසිණ නිමිත්ත වඩා එහි ධ්‍යානයට සම වදී. ඔහු ආත්මයක් කසිණ නිමිත්තේ ප්‍රමාණයට ඇතය යි සිතා ආත්මය අන්තවත්ය යි සිතා ගනී. අනතුරු ව ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ආත්මය අන්තයක් නැතියකැයි කියති. එය අසත්‍ය ය, ආත්මය අන්තවත් ය. මම එය මා ලබා ඇති සමාධිය නිසා දකිමියි කියයි. මේ පළමු වන අන්තානන්තිකවාදය ය.
එකෙක් සක්වළ පමණට කසිණ නිමිත්ත මහත් කොට වඩා ධ්‍යානයට සම වැදෙයි. ඔහු කසිණය අරමුණු කරන විඤ්ඤාණය ආත්මය වශයෙන් ගෙන කසිණ නිමිත්ත සේම ආත්මයත් අන්තයක් නැතියකැයි ගනී. ඔහු ඒ දෘෂ්ටිය පවසයි. මේ දෙවන අන්තානන්තික වාදය ය.
එකෙක් සරසින් කොනක් නො ලැබෙන පමණට කසිණ නිමිත්ත මහත් කොට වඩා උඩ යට දෙකට නො වඩා ඒ නිමිත්තෙහි ධ්‍යානයට සමවැදී එය අරමුණු කරන ධ්‍යානචිත්තය ආත්ම වශයෙන් ගෙන කසිණ නිමිත්ත අනුව ආත්මය උඩ යට දෙකින් අන්තවත් ද සරසින් අනන්ත ද වේය යි දෘෂ්ටිය ගනී. ඉක්බිති ආත්මය අන්තවත්ය කීමත් අනන්තය කීමත් අසත්‍ය ය. ආත්මය අන්තවත් අනන්ත ද වේ ය යි කියයි. මේ තුන්වන අන්තානන්තිකවාදය ය.
චිත්ත සමාධියක් ලබා නැති ආත්මය ගැන කල්පනා කරන්නෝ තමන්ට වැටහෙන පරිදි “මේ ආත්මය අන්තවත් ද නො වේය. අනන්ත් ද නො වේය. ආත්මය අන්තවත්ය කීම මුසාවෙක. අනන්තය කීම ද මුසාවෙක. අන්තවත් ද අනන්ත ද වේ ය යි කීමද මුසාවෙක. මේ ආත්මය අන්තවත් ද නො වේ. අනන්ත ද නො වේය” යි කියති. මේ සතරවන අන්තානන්තික වාදය ය.