චතස්සෝ දිට්ඨියෝ:

star_outline

61. සයං කතං සුඛදුක්ඛන්ති සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

62. පරං කතං සුඛදුක්ඛන්ති සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

63. සයං කතඤ්ච පරං කතඤ්ච සුඛදුක්ඛන්ති සච්චතෝ ථෙතතෝ දිට්ඨි උප්පජ්ජති.

64. අසයං කාරං අපරං කාරං අධිච්චසමුප්පන්නං සුඛ දුක්ඛන්ති සච්චතෝ ථෙතතො දිට්ඨි උප්පජ්ජති.

සත්‍ය වශයෙන් ම ස්ථිර වශයෙන් ම සුඛදුඃඛය ස්වයංකෘතය කියා දෘෂ්ටිය උපදී. ඒ දෘෂ්ටිය උපදින්නේ වේදනාව ආත්මය යි ගන්නවුන්ටය. වේදනාව ආත්මයයි ගෙන සුවදුක් උපදවන්නේ ඒ වේදනාව ම යයි ඔවුහු ගනිති. එසේ වතහොත් ඒ වේදනාව සුවදුක් ඇති වීමට කලින් තිබිය යුතු වන බැවින් එය ශාස්වත දෘෂ්ටියක් වේ.

සත්‍ය වශයෙන් ම ස්ථිර වශයෙන් ම මේ වර්තමාන සුඛදුඃඛය අන්‍ය වේදනාවකින් කරන ලද්දෙකැයි දෘෂ්ටිය උපදී. ඒ දෘෂ්ටිය ගන්නවුන් වර්තමාන වේදනාවෙන් අන්‍ය වේදනාවක්, වේදනා හේතුව ලෙස ගන්නා බැවින් එය උච්ඡේද දෘෂ්ටියට අයත් වේ.

සත්‍ය වශයෙන් ම ස්ථිර වශයෙන් ම මේ සුඛදුඃඛය වේදනා වූ තමා විසින් හා අනිකකින්න කරන ලද්දෙකැයි දෘෂ්ටිය උපදී. මෙයත් ඇතැමකුට ශාස්වතෝච්ඡේද දෙකට ම වැටෙන දෘෂ්ටියෙකි.

සත්‍ය වශයෙන් ම ස්ථිර වශයෙන් ම සුඛදුඃඛය කිසි හේතුවකින් නොව ඉබේ ම ඇති වන්නකැයි දෘෂ්ටිය උපදී, එය අහේතුක දෘෂ්ටියෙකි.

මේ දෘෂ්ටිය ගැන මෙකල අසන්නට නැත. මේවා අතීතයේ විසූ ඇතැම් පිරිවැජියන් අතර පැවති දෘෂ්ටීහු ය. තිබ්බරුක්ඛ නම් පිරිවැජියෙක් බුදුන් වහ්නසේ වෙත එළඹ මේ දෘෂ්ටි සතර ගැන බුදුන් වහන්සේ ගේ අදහස් විචාරා බණ අසා පැහැදී බුදුන් වහන්සේ සරණ ගිය බව නිදානවග්ග සංයුත්තයේ සූත්‍ර‍යක සඳහන් වේ.

මෙහි මුලින් සඳහන් කර ඇත්තේ චතුෂ්ක වශයෙන් දේශිත ධර්ම සපනසක්ය කියා ය. එහෙත් පාළියේ සූසැටක් ධර්ම දැක්වෙන්නේ ය. එය එක්තරා අවුලකි. කෙලෙස් එක්දහස් පන්සියය විභාග කර දක්වන තැන්වල ධර්මසංගනී මූලටීකාවෙහි හා අනුටීකාවෙහි සඳහන් වන්නේ චතුෂ්ක තුදුසෙකි. ධර්ම සපනසෙකි. විභංග අටුවාවෙහි ඛුද්දකවත්ථු විභංග වර්ණනාව ආරම්භයේ දී දක්වා ඇත්තේ ද, “ආසව චතුක්කාදයෝ චුද්දසචතුක්කා” කියා ය. මෙහි චතුෂ්ක දෙකක් අධික වී ඇත්තේ පසු කලෙක ඇතුළත් වීමෙනැයි සිතිය හැකිය.

චතුෂ්ක නිර්දේශය නිමි.