5. ජීවිතමදෝ

සෙස්සෝ මද ආයුෂයකින් ම මැරෙන්නාහ. මම බෝ කල් ජීවත් වූයෙමි. මතු ද බෝ කලක් ජීවත් වන්නෙමියි ජීවිතය සම්බන්ධ මුලාවෙන් යුක්ත අධික මානය ජීවිත මද නම් වේ. ජීවිත මදය ඇත්තේ කුමක් හෝ කොට මෙලොව පස්කම් සුව විඳීමට බලාපොරොත්තු වනවා මිස පරලොව ගැන නො සිතයි. ඔහු මෙලොව සැප ලැබීම සඳහා නොයෙක් පව්කම් කොට කිසි පිනක් නො කොට මරණින් පසු අපායට පැමිණෙන්නේය. ජීවිතමද ඇති වන්නේ බුදු දහම නො දැනීම නිසා ය. දහම් සේවනය නොකිරීම නිසා ය. ඒ මදය දුරු වීමට ඇති එක ම බෙහෙත බුදු දහම ය.

ජීවිතය අති දුබලය. විනාඩි ගණනක් වුව ද පැවතිය හැකි ශක්තියක් එයට නැත. අසවලාගේ ජීවිතය මෙපමණ කලක් පවතිනවා ය කියා සහතිකයක් කිසිම ජීවිතයකට නැත. ජීවිතයක් ඇතහොත් මරණය ද ඇත්තේ ය. මරණය නැති ජීවිතයක් නැත. මරණය නැත්තේ ජීවිතයක් ද නැති නිවනෙහි පමණෙකි. ජීවිතය ඇති වූ දා පටන් ම මරණය එයට සම්බන්ධව පවතී. ජීවිතය මරණය යන දෙක දෙපටකින් ඇඹරූ කඹයක් සේ සැලකිය හැකිය. දෙපොටකින් ඇඹරූ කඹයෙහි සැම තැනම එක පොටක් අනෙක් පොටෙහි වෙලී පවතින්නාක් මෙන් ජීවිත මරණ දෙක ඔවුනොවුන් එකට වෙලී පවතී. ජීවිතයක් දින ගණනක් වුව ද පවතින්නේ එහි ශක්තියෙන් නොව ආහාරාදීන්ගේ අනුග්‍ර‍හයෙනි. ආහාර ගන්නේ, ආහාරයේ අනුග්‍ර‍හය නැතිනම් ජීවිතයට පැවතිය නොහෙන බැවිනි. ජීවිත මදයෙන් මත්ව සිටින අඥයා ආහාර ගනිතත් එය කරන්නේ කුමට ද යන බව ඔහුට නො දැනේ. ආහාර ලද පමණින් ම ද ජීවිතය නො පැවතිය හැකිය. එයට බොහෝ අන්තරාය ඇත්තේ ය. ජීවිතය පිට්ටනියක් මැද දැල්වෙන පහන් සිළුවක් බඳුය. පිට්ටනියේ දැල්වෙන පහන් සිළුව කිනම් දිසාවකින් සුළඟ ආයේ ද නිවෙයි. සතකු පැන්නේ ද නිවෙයි. එසේ ම ජීවිතයට හැම දිසාවකින් ම පැමිණෙන අනේකාන්තරාය ඇත්තේ ය. සත්ත්වයා වටේට ජීවිත නාශක හේතූන් පිරී ඇත්තේ ය. ශරීරය තුළ ද ඇත්තේ ය. සමහර විට දිවි පවත්වා ගැනීමට අනුභව කරන ආහාරය ද දිවි නසයි. දිවි පවත්වා ගැනීමට බොන වතුර ටික ද දිවි නසයි. රෝගය සුව කර ගැනීමට ගන්නා බෙහෙත ද දිවි නසයි. ශරීරයේ වෙසෙන පණුවෝ ද ජීවිතය නසති. ශරීරයේ ඇති වා - පිත් - සෙම් යන මේවා ද කිපුණු විට ජීවිතය නසයි. මෙසේ ජීවිතය අනේකාන්තරායයන් මැද පවත්නා බැවින් මම නො මැරෙන්නෙමිය බෝ කල් ජීවත් වෙමි යයි සිතීම ඉමහත් අනුවණකමක් බව දත යුතුය. ඇතැමකුට ආරෝග්‍ය මද යෞවනමද ජීවිතමද යන තුනම ඇති වේ. එසේ වීම ඉතා නපුරු ය.