එක් කරුණක ස්ථිර ලෙස නො පිහිටන බැවින් දෘෂ්ටිය බිඳලීම් වශයෙන් මැරිය නො හෙන, වික්ෂේපයට පමුණුවන දෘෂ්ටි අමරාවික්ඛේපික නම් වේ. අන් ක්‍රමයකින් කියත හොත් ආඳා නමැති මත්ස්‍යයා දියෙහි මතු වෙමින් ගැලෙමින් ඒ මේ අතට පනින බැවින් මස් මරණුවන්නට ඇල්ලීම දුෂ්කරය. ආඳා මේන ප්‍රශ්න කරන අයට හසු නො වන පරිදි එක් වාදයක නො පිහිටා ඒ මේ අත පනින, ප්‍රශ්නය ඒ ඒ අතට විසි කර අවුල් කරන දෘෂ්ටිය අමරාවික්ඛේපික වාදය ය.
ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් පින්පව් තත්ත්වාකාරයෙන් නො දනී. එබැවින් යම්කිසිවක් කුශලයක්ද අකුශලයක්දැ යි ප්‍රශ්න කළ හොත් ඔහු එයට කෙළින් පිළිතුරු දීමට බිය වෙයි. හරියට නො දැන කියන දෙය බොරු විය හැකි ය. බොරු කීම මට දුකෙක අන්තරායෙකැයි හෙතෙමේ මේ කුශලයක්දැයි විචාළ හොත් මාගේ එසේ පිළිගැනීමක් නැතය යි කියයි. එසේ නම් මෙය අකුශලයක්දැයි ඇසුව හොත් මාගේ එසේ පිළිගැනීමක් ද නැතය යි කියයි. එසේ නම් මෙය කුශලාකුශල දෙකින් අනිකක් දැයි ඇසුව හොත් මාගේ එසේ පිළිගැනීමකුත් නැත ය යි කියයි. ඒ තුන් ආකාරයෙන් නො වේය යනු ඔබගේ ලබ්ධිය දැයි ඇසුව හොත් මාගේ එබඳු ලබ්ධියකුත් නැතය යි කියයි. එසේ නම් සියල්ලට ම නැත ය නැතය කීම ම ඔබගේ ලබ්ධිය දැ යි ඇසුව හොත් මාගේ එබඳු ලබ්ධියකුත් නැතය යි කියයි. මෙසේ එක කාරණයක ද නො පිහිටා කුමකට වත් හසු නො වන පරිදි ප්‍රශ්නය අවුල් කරයි. ඒ මේ අතට පැන ගැළවෙයි. එසේ මුසාවාදයට බියෙන් ඒ මේ අතට පැමිණීම පළමුවන අමරාවික්ෂේපික වාදය ය.
කුශලාකුශලයන් තත්ත්වාකාරයෙන් නො දන්නා වූ ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මෙසේ සිතයි. හරියට නොදැන යමක් කුශලය කියා හෝ අකුශලය කියා හේ කීයෙම් නම් එයින් මට ඡන්දය හෝ රාගය හෝ ද්වේෂය හෝ ප්‍රතිඝය හෝ ඇති විය හැකිය. එය මට උපාදානයක් වන්නේ ය. උපාදානය අන්තරායක් වන්නේන ය. එසේ සිතා උපාදානයට බියෙන් මේ කුශලය යි කෙළින් නො කියයි, මේ අකුශලයයි කෙළින් නො කියයි. ප්‍රශ්න කරන කල්හි පෙර කී පරිදි ඒ මේ අතට පනිමින් අවුල් කරයි. මෙසේ ඒ මේ අත පනිමින් ප්‍රශ්නය අවුල් කරන්නහුගේ දෘෂ්ටිය දෙවන අමරාවික්ෂේපික වාදය ය.
කුශලාකුශලයන් තත්ත්වාකාරයෙන් නො දන්නා වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් මෙසේ සිතයි. ලෝකයෙහි පණ්ඩිත වූ සියුම් නුවණ ඇත්තා වූ වාද කිරීමෙහි පුරුද්ද ඇත්තා වූ ස්වීය ප්‍රඥාවෙන් සියුම් වූ ද අනුන්ගේ දෘෂ්ටීන් බඳින්නා වූ ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ඇතහ. ඉදින් මම හරියට නො දැන මේ කුශලය මේ අකුශලය යි කීයෙම් නම් ඔවුන් විසින් මාගෙන් කරුණු පිළිවිසුව හොත් මම කියන්නට සමත් නො වෙමි. එසේ සිතා මේ කුශල යයි ද ප්‍රකාශ නො කරයි. මේ අකුශල යයි ද ප්‍රකාශ නො කරයි. ප්‍රශ්න කළහොත් මාගේ එබඳු පිළිගැනීමක් නැත යනාදීන් කියා ඒ මේ අත පනී. වික්ෂේප කරයි. එසේ අන්‍ය පණ්ඩිතයන් විසින් වාදාරෝපණය කිරීමට බියෙන් ප්‍රශ්නය අවුල් කිරීම තුන්වන අමරාවික්ෂේපික වාදය යි.
ප්‍රශ්න විසඳිය හැකි නුවණ නැති මූඪ වූ ඇතැම් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් තමාගේ අනුවණ බව නිසා පරලොවක් ඇත්තේ දැ යි ඇසුව හොත් ඔබ පරලොවක් ඇතිදැයි අසන්නෙහි ය, මට පරලොවක් ඇත යයි හැඟේ නම් මම පරලොවක් ඇතය යි කියන්නෙමි. මට මෙසේ හැඟීමක් නැත. එසේ හැඟීමක් ද නැත අන්‍යාකාර හැඟීමක් ද නැත, පරලොව නැත ය යන හැඟීමක් ද නැත, නැත්තේ නොවේය යන හැඟීමක් ද නැතය යි කියා ප්‍රශ්නය අවුල් කරයි. වික්ෂේපයට පමුණුවයි.
පරලොවක් නැතදැ යි අසන කල්හි ද, පරලොවක් ඇත්තේ ද නැත්තේ ද වේදැයි අසන කල්හි ද, ඕපපාතික සත්ත්වයෝ (මරණින් මතු උපදනා සත්ත්වයෝ) ඇත්දැයි අසන කල්හි ද, ඕපපාතික සත්ත්වයෝ නැත්දැයි අසන කල්හි ද, ඕපපාතික සත්ත්වයෝ ඇත්තාහු ද - නැත්තා හු ද වෙත්දැ යි අසන කල්හි ද, ඕපපාතික සත්ත්වයෝ නැත්තාහු ද - ඇත්තාහු ද වේදැ යි අසන කල්හි ද, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේදැයි අසන කල්හි ද, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක නැතිදැ යි අසන කල්හි ද, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵලවිපාක ඇත්තේ ද - නැත්තේ ද වේදැයි අසන කල්හි ද, සුකෘත දුෂ්කෘත කර්මයන්ගේ ඵල විපාක නැත්තේ ද නො වේ - ඇත්තේ ද නොවේදැ යි අසන කල්හි ද, සත්ත්වයා මරණින් මතු ඇත්තේ ද - නැත්තේ දැයි අසන කල්හි ද, ඇතැම් සත්ත්වයන් ඇත - ඇතැම් සත්ත්වයන් නැතදැ යි අසන කල්හි ද, මරණින් මතු සත්ත්වයා නො මැත්තේ ද - ඇත්තේ ද නොවේදැ යි අසන කල්හි ද ඉහත කී පරිදි ම කියා වික්ෂේප කරයි. මේ සතරවන අමරාවික්ෂේපික වාදය ය.
ප්‍රශ්නය අවුල් කිරීමේ හේතූන් අනුව මෙසේ අමරාවික්ෂේපික වාද සතරක් දේශනය කර ඇත ද ඒ සතරදෙනාගේ ම දෘෂ්ටිය සමාන ය. සතරදෙනාට ම ඇත්තේ එක ම දෘෂ්ටියෙකි. එනම් පින්පව් පිළිබඳ වූ ද පරලොවක් ඇති නැති බව ආදිය පිළිබඳ වූ ද විසඳීමට දුෂ්කර මේ කරුණු නො විසඳා අවුල් කර දැමිය යුතු ය යනු ඔවුන්ගේ දෘෂ්ටිය ය.