65. අධිමානෝ

star_outline

මම සෝවාන් වෙමිය, සකෘදාගාමී වෙමිය, අනාගාමී වෙමිය යි ඇතැම් පෘථග්ජනයන්ට ඇතිවන මෝහය අධිමාන නම් වේ. මේ ක්ලේශය පෘථග්ජනයන්ට මිස ආර්‍ය්‍යයන්ට ඇති නො වේ. පහළ ම ආර්‍ය්‍ය පුද්ගලයා වන සෝවාන් පුද්ගලයා ද මාර්ගය ඵලය නිර්වාණය ප්‍ර‍හීණ ක්ලේශ අප්‍ර‍හීණ ක්ලේශ යන මේවා නුවණින් ප්‍ර‍ත්‍යවේක්ෂා කොට නිසැක ලෙස තමාගේ තත්ත්වය දැන ගනී. එබැවින් සෝවාන් පුද්ගලයකුට තමා සකෘදාගාමී අනාගාමී වී ඇතය රහත් වී ඇතය යන මුළාව ඇති නොවේ. සකෘදාගාමී අනාගාමී පුද්ගලයන්ට මතු මඟ ඵල ලබා ඇතය යන මුළාව ඇති නො වේ. මඟ ඵල ලැබීමේ බලාපොරොත්තුවක් නැති දුශ්ශීලයන්හට ද මෙය ඇති නොවේ. මඟ ඵල ලබන රිසියෙන් සමථ විදර්ශනාවන්හි නො යෙදෙන කුසීත සිල්වතුන්ට ද මෙය ඇති නො වේ. පිරිසිදු ශීලයෙහි පිහිටා නාම රූප ධර්මයන් පිරිසිඳ දැන ඒවායේ ප්‍ර‍ත්‍යයන් විමසා දැන සැක දුරු කොට තමා රූපයන්ගේ තිලකුණු බැලීම් වශයෙන් අප්‍ර‍මාදව විදර්ශනාවෙහි යෙදෙන ඇතැම් යෝගාවචරයන්ට මේ මුළාව ඇති වේ. මුළා වී ඇති යෝගාවචරයා තමා තුළ කෙලෙසුන් නැගී ඒමක් නැති නිසා තමා සෝවාන් වී ඇතය, සකෘදාගාමී අනාගාමී වී ඇතය යි රැවටේ. සමථයෙන් කෙලෙසුන් යටපත් කොට විදර්ශනාවෙන් සංස්කාරයන් පිරිසිඳ දැන සිටින යෝගාවචරයන්ට අවුරුදු සැට සැත්තෑව පමණ කල් කිසි ක්ලේශයක් නූපදී. රහත් කෙනකුගේ මෙන් සිත පිරිසිදු ව පවතී. එයින් ඇතැම් යෝගාවචරයන්ට රහත් නොවීම රහත් වූයෙමි ය යි මුළාව ඇති වේ. මේ අධිමානයෙන් වන හානිය නම් උත්සාහය නවත්වන නිසා මඟ ඵල නොලැබී යාම ය. අරණ්‍ය සේනාසනවල භාවනා මධ්‍යස්ථානවල භාවනා කළ ඇතැම් යෝගාවචරයන්ටත් අධිමානය ඇති වී තිබිය හැකිය. උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහ්නසේ ය, හංකනවාසී මහාදත්ත තෙරුන් වහන්සේ ය, සිතුල්පව්වේ චුල්ලසුම්ම තෙරුන් වහන්සේය යන මේ තෙරුන් වහන්සේලා අධිමානයෙන් විසූහ යි විභංග අටුවාවෙහි දක්වා ඇත්තේ ය. උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහන්සේගේ කථාව මෙසේය :-

මාලිකවාසී මහාධම්මදින්න නම් වූ බොහෝ භික්ෂූන්ට අවවාද දෙන පිළිසිඹියා පත් මහ රහතන් වහන්සේ නමක් වූහ. දිනක් උන් වහන්සේ දිවා ස්ථානයෙහි වැඩ හිඳිනා සේක් තමන් වහන්සේගේ ආචාර්‍ය්‍යයන් වහන්සේ වන උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහන්සේගේ ශ්‍ර‍මණකෘත්‍යය මස්තකප්‍රාප්තවී දැ යි බලන්නාහු උන්වහන්සේ පෘථග්ජනව වෙසෙන බව දැක, තමන් වහන්සේ එහි නො ගිය හොත් උන්වහන්සේ පෘථග්ජන භාවයෙන් ම කලුරිය කරන බව දැන සෘද්ධියෙන් අහසට නැගී ගොස් තෙරුන් වහන්සේ සමීපයෙහි අහසින් බැස වැඳ එකත් පසෙක හිඳ ගත්හ. එකල්හි මහානාග තෙරුන් වහන්සේ ඇවැත්නි, ධම්මදින්න, ඔබ මේ අකාලයේ කුමට ආවහුදැ’යි කීහ. ධම්මදින්න තෙරණුවෝ “ස්වාමීනි, පැනයක් විචාරීමට ආයෙමි” යි කීහ. “ඇවැත්නි, අසව දන්නා දෙයක් නම් කියමි” යි මහානාග තෙරණුවෝ කීහ. ධම්මදින්න තෙරණුවෝ දහසක් පමණ ප්‍ර‍ශ්නයන් ඇසූහ. කිසිදු පැකිළීමක් නැතිව මහානාග තෙරුන් වහන්සේ සියල්ල විසඳූහ. එකල්හි ධම්මදින්න තෙරණුවෝ “ස්වාමීනි, ඔබ වහන්සේගේ නුවණ ඉතා තියුණුය. නුඹ වහන්සේ මේ ධර්මය කවදා අධිගමනය කළ සේක් දැ”යි කීහ. “ඇවැත්නි, සැට අවුරුද්දකටත් පෙරදීය”යි කීහ. “නුඹ වහන්සේට සමාධීන් ඇත්තේදැ”යි ධම්මදින්න තෙරණුවෝ ඇසූහ. “ඇවැත්නි, එයත් මට ලොකු දෙයක් නොවේය”යි තෙරණුවෝ කීහ. “ස්වාමීනි එසේ නම් ඇතකු මවන සේක්වා”යි ධම්මදින්න තෙරණුවෝ කීහ. තෙරුන් වහන්සේ විශාල සුදු ඇතකු මැවූහ. “මේ ඇතා නගුට ඔසවා කන් ඔසවා කුඤ්ච නාද කරමින් ඔබ වහන්සේ ඉදිරියට එන ලෙස කරනු මැනව”යි ධම්මදින්න තෙරණුවෝ කීහ. මහානාග තෙරුන් වහන්සේ එසේ කොට තමන් වහන්සේ මැවූ ඇතුට ම බිය වී පලා යන්නට තැත් කළහ. ධම්මදින්න තෙරුන් වහන්සේ මහානාග තෙරුන් වහන්සේට පලායන්නට නොදී අත දිගු කොට සිවුරු කොනින් අල්වා “ස්වාමීනි, රහතුන්ට බියෙක් ඇතිදැ”යි කීහ. එකල්හි තෙරුන් වහන්සේ තමා රහත් නොවන බව දැන “ඇවැත්නි, ධම්මදින්න මට පිහිට වෙව”යි කියා ධම්මදින්න තෙරුන් වහන්සේ පාමුල උක්කුටියෙන් හිඳ ගත්හ. ධම්මදින්න තෙරණුවෝ “ස්වාමීනි, මා ආයේ නුඹ වහන්සේට පිහිට වන්නටමය”යි කියා කමටහන් කීහ. තෙරුන් වහන්සේ කමටහන් ගෙන සක්මනට නැඟ භාවනා කරන්නේ තුන්වන පියවරෙහිදී ම සියලු කෙලෙසුන් නගා අග්‍ර‍ඵලය වූ අර්හත්වයට පැමිණියහ. මේ අධිමානයෙන් සැට වසක් ගත කළ උච්චමාලිකවාසී මහානාග තෙරුන් වහන්සේගේ කථාව ය.