52. සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ

සෙය්‍යස්ස සෙය්‍යෝ හමස්මීති මානෝ යනු ජාති කුල ගෝත්‍ර‍ ධනාදි කරුණකින් උසස් පුද්ගයකු හට ලෝකයේ හෝ රටේ ම හෝ පලාතේ ම හෝ මා වැනි අනිකෙක් කොයින් ද? මම ම සැමට වඩා උසස් වෙමියි ඇති වන මානය ය. මෙය රජුන්ට හා පැවිද්දන්ට ඇති වන මානයකැයි අටුවාවෙහි කියා තිබේ. මට පමණ ධන බලය, සේනා බලය, වාහන බලය ඇති අන් රජෙක් කොහි ඇත්තේ ද? මම ම ලෝකයේ ශ්‍රේෂ්ඨ රජ වෙමියි රජුන්ට මේ මානය ඇති වේ. ශීල ගුණ ධුත ගුණ ආදියෙන් මට සමාන අනිකෙක් කොහි ඇත්තේ ද? මම ම ශ්‍රේෂ්ඨ වෙමි’ යි මේ මානය ඇතැම් පැවිද්දන්ට ඇති වේ. අටුවාවෙහි මෙසේ කියා තිබුණත් මා වැනි පණ්ඩිතයෙකු කොහි ඇත්තේ ද? මම පණ්ඩිතයන්ගෙන් ශ්‍රේෂ්ඨ වෙමිය කියා පණ්ඩිතයකුට ද මා වැනි ධනවතකු කොහි ඇත්තේ ද? කියා ධනවතකුටත් තවත් අයටත් මේ මානය ඇති වන්නට බැරි නැත.