භය

37. ජාතිභයං

38. ජරා භයං

39. මරණ භයං

ඒ ඒ භවයෙහි ස්කන්ධයන් පළමු කොට පහළ වීම නිසා ඇතිවන භයාකාර ද්වේෂය ‘ජාති භය’ නම් වේ. ස්කන්ධයන්ගේ දිරීම හේතු කොට භයාකාරයෙන් ඇති වන ද්වේෂය “ජරාභය” නම් වේ. මරණය හේතු කොට ගෙන භයාකාරයෙන් ඇති වන ද්වේෂය මරණ භය නම් වේ.

ඔත්තප්ප භය ඤාණභය ද්වේෂභය යි භය තුනක් ඇත්තේ ය. පවට බිය වන ස්වභාවය ඔත්තප්ප භය ය. එය ක්ලේශයක් නොව කුශලාව්‍යාකෘත දෙපක්ෂයට අයත් ධර්මයෙකි. විදර්ශනා වඩනා යෝගාවචරයන්ට විදර්ශනා ඥානය දියුණු වන කල්හි ස්වසන්තානයෙහි උපදින උපදින නාමරූප ධර්මයන් ඇසිපිය හෙළන තරම් කාලයකුදු නොපැවතී බිඳී යාම පෙනෙන්නට වන්නේ ය. ඒ අවස්ථාවෙහි පිහිට කර ගත හැකි කිසිවක් නො පෙනීම නිසා යෝගාවචරයාට බියක් ඇති වේ. එය ඥාන විශේෂයකි. එය භයතුපට්ඨාන ඤාණ නම් වූ විදර්ශනා ඥානය ය. ඒ භය ක්ලේශයක් නොව කුශල ධර්මයෙකි. නො කැමති වස්තුවක් හෝ පුද්ගලයකු හෝ මුණ ගැසුණු කල්හි ඒ වස්තුවට හෝ පුද්ගලයාට විරුද්ධ ස්වභාවයක් සිතෙහි ඇති වේ. එයට ද්වේෂයයි කියනු ලැබේ. ඒ ද්වේෂය දියුණු වී අරමුණට විරුද්ධව ඉදිරිපත් වන අරමුණට පීඩා කරන ආකාරයෙන් ඇති වේ. ඒ තත්ත්වයේ ද්වේෂයට කෝපය යි කියනු ලැබේ. තමා දුබල වී විරුද්ධකාරයා බලවත් වී සිටින කල්හි ඒ ද්වේෂය විරුද්ධාරම්මණය කෙරෙන් පසු බසින පලා යන සැඟවෙන ස්වභාවයෙන් ඇති වේ. එසේ උපදනා ද්වේෂය ද්වේෂ භය ය. මේ ක්ලේශ කථාවෙහි අදහස් කරන්නේ ඒ ද්වේෂ භය ය.

ජරා යනු ස්කන්ධයන් ගේ දිරීම ය. එය ඇසට නො පෙනේ. රූපස්කන්ධය දිරීමේ ලකුණු පෙනේ. හිසෙකේ රැවුල් සුදු වී තිබීම, ඇඟ රැලි වැටී නහර ඉල්පී දුබල වී වක් වී තිබීම, ඉන්ද්‍රියයන් දුබල වී තිබීම, දත් සැලී තිබීම රූපස්කන්ධය දිරා යාමේ ලකුණු ය. වේදනා සංඥා සංඛාර විඥානස්කන්ධයන් දිරා යාමේ ලකුණු ද නැත්තේ ය.

ක්ෂණික මරණය, සම්මුති මරණය, සමුච්ඡේද මරණය යි මරණ තුනෙකි. උපදින සංස්කාරයන්ගේ ක්ෂණයක් පාසා සිදුවන බිඳීම ක්ෂණික මරණය ය. එක් භවයකට අයත් ස්කන්ධයන් ගේ බිඳීයාම සම්මුති මරණය ය. මතු ඉපදීමක් නොවන සේ සිදුවන රහතුන් ගේ මරණය සමුච්ඡේද මරණය ය. ඒ මරණ තුනෙනි මෙහි අදහස් කරන්නේ සම්මුතිමරණය ය.