45. ලපනා

ප්‍ර‍ත්‍යයන් ලැබෙන පරිදි කථා කිරීම ලපනා නම් වේ. ලාභ සත්කාර කීර්ති ප්‍ර‍ශංසා බලාපොරොත්තු වන, ඒවාට ගිජු වූ කථාවෙහි දක්ෂ වූ ඇතැම් කුහක පැවිද්දෝ කථාවෙන් ඒවා ලබා ගැනීමට උත්සාහ කරති. කථාවෙන් ප්‍ර‍ත්‍යය ලැබීමට බලාපොරොත්තු වන කුහක පැවිද්දා විහාරයට ගිහියකු පැමිණි කල්හි මහත්මයා ආයේ ආරාධනාවක් කරන්නට ද? මහත්මයාට කොපමණ භික්ෂූන් වුවමනා ද? වුවමනා පමණක් භික්‍ෂූන් මට වැඩම කරවා දිය හැකිය යනාදීන් කථා කරති. අසවල් ඇමතිතුමා අසවල් මන්ත්‍රීතුමා අසවල් මහත්මයා අපගේ දායකයෝ ය, මෙහි නිතර පැමිණෙන්නෝ ය යනාදීන් තමාගේ උසස් බව පෙනෙන්නට කථා කරයි. මේ මහත්මයා, මේ මහත්මිය හොඳට පින් කරන අයය, අතීතයේ මෙසේ පින් කර ඇති අයය, මහා දානපතියෝය, දීමට යමක් ඇතියෝය යනාදීන් උසස් කොට කථා කරයි. මේ මහත්වරු අන් අවුරුදුවල නම් මේ මාස වලදී පින්කම් කරන්නෝය, දන් දෙන්නෝය, මේ වර්ෂයේ තව ම නැත්තේ අවකාශ නො ලැබූ නිසා ද යනාදීන් දෙමිය කියන තෙක් නොයෙක් ලෙසින් කථා කරයි. මේ පවුලේ අය සෝවාන් පුද්ගලයන් වැනියෝය, යමක් ලදහොත් අප අමතක නො කරන්නෝය, හොඳ දෙයක් ලද හොත් එය අපට ම දෙන්නෝය යනාදීන් බොරු කරුණාව මෛත්‍රිය හිතවත්කම දක්වා කථා කරයි. දායකයා සතුටු වන පරිදි ඔහු කියන කුමක් වුව ද සත්‍යය, ධර්මය අපේක්ෂා නො කොට අනුමත කරමින් කථා කරයි. බොරු සැබෑ මිශ්‍ර‍ කොට කථා කරයි. දායකයන් ගේ දරුවන් සුරතල් කරයි. මේ කථාවෙන් ප්‍ර‍ත්‍යය ලබාගන්නා ආකාරය ය.