අධිත්‍ය සමුත්පන්නික වාද දෙක:

අසංඥසත්ත්ව නම් වූ දේව කොට්ඨාසයක් ඇත්තේ ය. ඔවුනට ඇත්තේ රූප කාය පමණකි. සිත් ඔවුනට නැත. ඔවුන්ගේ ආයුෂය කල්ප පන්සියයෙකි. තීර්ථක ශාසනවල පැවිදි වූ ඇතැම්හු වායෝ කසිණයෙන් චතුර්ථධ්‍යානය උපදවා අත්පා සිඳීම් ආදි යම් දුකක් ඇත්තේ නම් ඒ සියල්ල වන්නේ සිත නිසාය. සිතක් නැති නම් කුමක් සිදුවුවත් දුකක් නැතය යි සිතෙහි දෝෂ දැක සිත් නැති ආත්මභාවයක් බලාපොරොත්තු වෙති. සිත පිළිකුල් කරන ඔවුහු ඒ ධ්‍යාන කුශලයේ බලයෙන් මරණින් මතු අසංඥභවයෙහි උපදිති. මේ භවයේ අන්තිම සිත වන ච්‍යුතිචිත්තය නිරුද්ධ වනු සමග ම ඔවුනට එහි සංඥාවිරහිත රූප කායයක් පහළ වේ. ඔවුහු එහි කල්ප පන්සියයක් ම සංඥා විරහිතව වෙසෙති. චතුර්ථධ්‍යාන කුශලයේ බලය ක්ෂය වනු සමග මෙහි නැවත ඔවුනට ප්‍ර‍තිසන්ධි චිත්තයක් ඇති වේ. අසංඥභූමියෙන් ච්‍යුත ව මෙහි උපන් යම් කිසිවෙක් පැවිදි ව භාවනා කොට අතීතය දැකීමට සමත් චිත්ත සමාධියක් ලබා ඒ සමාධායේ බලයෙන් තමාගේ අතීතය බලයි. ඔහුට ප්‍ර‍තිසන්ධිය දක්වා තමාගේ අතීතය පෙනේ. විඤ්ඤාණයක් නො පැවති බැවින් ඔහුට ප්‍ර‍තිසන්ධියෙන් ඔබ අතීතය නො පෙනේ. එයින් ඔහු මෙසේ කියයි. ‘මේ සත්ත්වයා කිසි හේතුවකින් තොරව ඉබේ ම ඇති වන්නේ ය මම පෙර නො විසූයෙමි. දැනට මම සත්ත්වයෙක් වී සිටිමි.’ මේ පළමුවන අධීත්‍යසමුත්පන්න වාදය ය.

ඇතැම් ශ්‍ර‍මණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් සත්ත්වයාගේ ඇතිවීම ගැන කල්පනා කරනුයේ කිසි හේතුවක් නො දැක තමන්ගේ කල්පනාවේ සැටියට තමාට වැටහෙන පරිදි මේ සත්ත්වයෝ යම්කිසි හේතුවකින් තොරව ඉබේ ම ඇති වූහයි පවසයි. මේ දෙවන අධීත්‍ය සමුත්පන්නිකවාදය ය.

ශාස්වතවාද සතරය ඒකත්‍යශාස්වතවාද සතරය අන්තානන්තිකවාද සතරය අමාරවික්ෂේපිකවාද සතරය අධිත්‍යසමුත්පන්නිකවාද දෙකය යන මේ දෘෂ්ටි අටළොස සත්ත්වයන්ගේ අතීත කොට්ඨාසයන් සම්බන්ධයෙන් ඇති වන දෘෂ්ටීන් වන බැවින් පූර්වන්තානු දෘෂ්ටීහු නම් වෙති.