38. අසභාගවුත්ති

අනුකූල විය යුතු සැලකිය යුතු ගරු කළ යුතු මාපිය ගුරුවරාදීන්ට අනුකූල නොවන ස්වභාවය අසභාගවුත්ති නම් වේ. මෙය ඒ ආකාරයෙන් ඇති වන මානය හා ද්වේෂය ය. අසභාගවුත්තිතාවෙන් යුක්ත වන පුද්ගලයාට මාපියන්ට නො සලකා සිටීම විරුද්ධව සිටීම මිහිරකි. මෙය ඉතා පහත් අසත්පුරුෂ ලක්ෂණයෙකි. එයින් යුක්ත වූ පාපී පුද්ගල තෙමේ මව හෝ පියා හෝ සහෝදරයෙකු හෝ සහෝදරියක හෝ අන් සැලකිය යුත්තකු හෝ ගිලන් වුව ද පැත්තවත් නොබලයි. පියා අයත් දෙය සම්බන්ධයෙන් මව හා කෝලාහල කරයි. මව අයත් දෙය සම්බන්ධයෙන් පියා හා කෝලාහල කරයි. මාපියන් අයත් දේ සම්බන්ධයෙන් සහෝදර සහෝදරියන් හා කෝලාහල කරයි. මාපියන්ට නො වඳී. ඔවුන් දුටු විට හුනස්නෙන් නො නැගිටී. මාපියන් බිම සිටියදී අසුනෙහි හිඳී. මාපියන් නීචාසනයේ සිටියදී තමා උසස්නෙහි හිඳී. මාපියන්ගේ වැඩ වලට සහාය නොවේ. මාපියන් පහත් කොට සලකයි. අසභාගවුත්තිතාව ඇති පැවිද්දා ද ආචාර්‍ය්‍ය උපාධ්‍යායයන් ගිලන් වුව ද හැරී බැලීමකුදු නො කර යයි. විහාරයේ වෙසෙන අනිකකු ගිලන් වුව ද එසේ ම කරයි. ආචාර්‍ය්‍යයෝපාධ්‍යායයන්ට හා වැඩිමහලු භික්ෂූන්ට නො වඳී. විහාරයට චෛත්‍යයට බෝධියට ගරු නො කරයි. සෑ මලු බෝ මලුවලට වහන් පයලා ගමන් කරයි. කුඩා ඉසලා ගමන් කරයි. සංඝයාට ගරු නො කරයි.

මා පියන් බොහෝ දුක් විඳ බොහෝ වෙහෙසී දියුණු කළ ඇතැම් දරුවෝ තමන් උසස් තත්ත්වයකට පැමිණි පසු මම දැන් මවුපියන්ට වඩා උසස් තත්ත්වයක සිටිමි ය, ඔවුන්ගෙන් මට වැඩක් නැත කියා මාපියන් පහත් කොට සලකමින් හැසිරෙති. ඇතැම් පැවිද්දෝ ද ගුරුවරුන් ගේ ආධාරයෙන් උසස් තත්ත්වයට පැමිණි කල්හි දැන් මම ගුරුවරයාට වඩා උසස් තත්ත්වයක සිටිමියි ගුරුවරුන් නොසලකා හරිති. මහලුව දුබලව සිටින ගුරුවරුන්ට අවමන් කරති. ගුරුවරයා තමා යටතට ගන්නට තැත් කරති. මාපියන් ගුරුවරුන් තමන් යටතට ගන්නට තැත් කිරීම ඔවුනට ගරු නො කිරීම මෙලොව ද පිරිහීමට හේතු වන බලවත් පාපයෙකි.

දරුවෝ මාපියනට ප්‍රියයෝ ය. දරුවා ගැන මාපියන් ගේ සිත්හි ඇතිවන ඒ ප්‍රියත්වය කුශල ධර්මයක් නො වේ. එය රාග නමැති ක්ලේශය ය. දරු සුරතලය මාපියන්ට මිහිරකි. කැවීම් පෙවීම් නෑවීම් හැඳවීම් පැළඳවීම් ආදියෙන් දරුවන්ට සත්කාර කිරීමත් මාපියන්ට මිහිරකි. ඒ සියල්ල ම කෙරෙන්නේ රාග නමැති ක්ලේශයෙන් ම ය. එහෙත් දරුවන් විසින් මා පියන්ට ගරු කළ යුතුය. බුදුසස්නෙහි මහතෙරවරුන් ගෝලයන් ඇති දැඩි කරන්නේ ගෝලයන් දියුණු කරන්නේ රාගාදි යම්කිසි ක්ලේශයකින් නොව මෛත්‍රී කරුණාදි කුශල ධර්මවලිනි. එබැවින් මාපියන්ට ද වඩා ගුරුවරුන්ට ගරු කළ යුතුය. එබැවින් බුදුසස්නෙහි දෙවැනි තැන ලබා සිටි ශ්‍රාවකයන්ගෙන් මුල් තැන ලබා සිටි උසස් ම බුද්ධ ශ්‍රාවකයන් වහන්සේ වන සැරියුත් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේට බුදුසස්නට ඇතුළු වීමට මුලින් ම මග පෙන්වූ ගුරුවරයා වන අස්සජි තෙරුන් වහන්සේට දිනපතා වැඳීම කළහ. අස්සජී තෙරුන් වහන්සේ නැති තන්හිදී උන්වහන්සේ වැඩ සිටින දිශාවට හැරී වැඳ ඒ දිශාවට ම හිස ලා ශයනය කළහ. මෙය භික්ෂූන් විසින් ආදර්ශයට ගත යුතු කරුණෙකි.

මාපියන්ට ගුරුවරුන්ට අනුකූල පැවැත්මක් නැතිව ඔවුන්ගේ සිත් රිදවන අයට එයින් වන අනිෂ්ඨ විපාක මෙලොවදීමත් නොයෙක් විට විඳින්නට සිදු වේ. එසේ කරන අසත්පුරුෂයන්ව සත්පුරුෂයෝ පිළිකුල් කෙරෙති. ඔවුහු ජනයාට අප්‍රියයෝ වෙති. අනුන්ගෙන් උපකාර වුවමනා අවස්ථා කාහටත් එළඹේ. අනුන්ට අනුකූල පැවතුම් නැති උඩඟු පුද්ගලයා එබඳු අවස්ථාවක් පැමිණි විට තනි වේ. එබඳු පුද්ගලයන්ට උපකාරයට කිසිවෙක් ඉදිරිපත් නො වෙති.