79. උද්ධච්චං 80. කෝසජ්ජං 81. පමාදො

සුළං පුරවා බිම ගසන බෝලය බිම නො පිහිටා උඩ විසින් වන්නාක් මෙන් සිත අරමුණෙහි නොපිහිටා විසි වන ස්වභාවය, සැඩසුළං වදින ජලයක් මෙන් කොඩියක් මෙන් සිත සැලෙන දඟලන වෙවුලන ස්වභාවය උද්ධච්ච නම් වේ. මෙය සිත එක් අරමුණක තබා ගැනීමට එක් කටයුත්තක යෙදවීමට බාධක ධර්මයකි. ඇති නැති බව තේරුම් ගැනීමට දුෂ්කර චෛතසික ධර්මයෙකි. යෝගාවචරයන්ට නීවරණයෙකි. අධික වීර්‍ය්‍යයත් උද්ධච්චයට හේතු වන බව කියා තිබේ.

සිත ආරක්ෂා නො කොට පඤ්චකාමයන්හි දුශ්චරිතයන්හි යෙදීමට ඉඩ හැර තිබීම, කුශල් කිරීමෙහි දී නො සැලකිල්ලෙන් නො මනා පරිදි කරන බව, කලාතුරකින් මිස කුශලය නිතර නො කරන බව, කුශලය කලින් කල නවත නවතා මඳින් මඳ කරන බව, කුශල් කිරීමට පසු බසින බව, කුශල් කිරීමේ බලාපොරොත්තු නැති බව, කුශලයන් නො කරන බව, කෝසජ්ජ නම් වේ. උගෙනීම නො කරන බව, කළ ද මැනවින් නො කරන බව, ගොවිකම් අත්කම් ආදි වැඩ නොකරන බව, කළ ද මැනවින් නො කරන බව, කෝසජ්ජයය. කුසීත බව, අලස බවය කියනුයේ ද මෙයට ම ය. මේ කුසීත බව ඇතිවන්නේ ඒ ඒ වෙලාවට ලැබිය හැකි සැපය ගැන ආසාව නිසා හා අනාගතය වැසෙන මෝහයත් නිසා ය. මෙය ගිහි පැවිදි කාහටත් මහා පරිහානිකර ධර්මයෙකි. උගෙනීමෙහි නො යෙදෙන කළ යුතු වත පිළිවෙත මැනවින් නො කරන භාවනාවෙහි නො යෙදෙන අලස පැවිද්දා දෙලොවින් ම පිරිහේ. බාලකාලයේ අලස කමින් නිදමින් විනෝද වෙමින් සිට උගෙනීමක් නො කළ පැවිද්දා වැඩි වියට පත් වූ විට පැවිද්දන් විසින් කළ යුතු ධර්මදේශනාදි කටයුතු වලට අසමත් වීමෙන් හිස් පුද්ගලයකු වශයෙන් සලකන, කිසිවකු විසින් ගණන් නො ගන්නා බොහෝ දෙනාට අප්‍රිය පුද්ගලයෙක් වේ. එයින් ඔහුට සමහර විට පැවිද්දෙන් ඉවත් වීමට ද සිදු වේ. ගිහි වුව ද කිසිවක් නො දන්නා කිසිවකට නො සමත් වූ ඔහුට, ගත කරන්නට සිදුවන්නේ කාලකණ්ණි ජීවිතයෙකි. උගෙනීමෙහි හෝ රැකියාවක් පුහුණු කර ගැනීමෙහි හෝ නො යෙදෙමින් මා පියන් සපයන ධනයෙන් කා බී හැඳ පැළඳ ඇවිදිමින් නිදමින් විනෝදයෙන් ජීවත් වන බාලයෝ තරුණයෝ අනාගතයේ දී කිසිවක් කර ගැනීමට නො සමත් අවාසනාවන්තයෝ වෙති. එබඳු අය සමහරවිට සොරු හෝ යාචකයෝ හෝ වෙති. ලෝකයේ උසස් තත්ත්වවට පැමිණ සිටින්නේ විනෝද වීමට කාලය ගත නො කොට වෙහෙසී උගෙනීම කළ අයය ය. ධනවතුන් වී සිටින්නේ වෙහෙසී රැකියාවන් කළ අය ය.

උට්ඨාන එලූපජීවි න කම්ම එලූපජීවි,

කම්ම එලූපජීවි න උට්ඨාන එලූපජීවි,

උට්ඨාන එලූපජීවි චෙව කම්ම එලූපජීවි,

නේව උට්ඨාන එලූපජීවි න කම්මඑලූපජීවි.

මෙසේ අංගුත්තර නිකාය චතුෂ්ක නිපාතයේ පුද්ගලයන් සතර දෙනකුන් දක්වා ඇත්තේ ය. කුශල කර්ම ඵලයෙන් ජීවත් නො වී වීර්‍ය්‍ය ඵලයෙන් ජීවත් වන මනුෂ්‍යයෝ උට්ඨාන එලූප ජීවී න කම්ම එලූප ජීවී පුද්ගලයෝ ය. වීර්‍ය්‍ය ඵලයෙන් ජීවත් නො වී කුශල කර්ම ඵලයෙන් ම ජීවත් වන දෙවියෝ කම්ම එලූපජීවී න උට්ඨාන එලූපජීවී පුද්ගලයෝ ය. උට්ඨාන ඵලය කුශල කර්ම ඵලය යන දෙකින් ම ජීවත් වන රාජ රාජ මහාමාත්‍යාදීහු උට්ඨාන එලූපජීවී කම්ම එලූපජීවී පුද්ගලයෝ ය. නේරයික සත්ත්වයෝ නේව උට්ඨාන එලූපජීවී න කම්ම එලූපජීවී පුද්ගලයෝ ය.

මේ පුද්ගලයන් සතර කොටසින් සාමාන්‍ය මනුෂ්‍යයන් අයත් වන්නේ උට්ඨාන එලූප ජීවී ගණයට ය. ඔහුට කුශල කර්ම ඵලය ලැබෙන්නේ ඉතා සුළු වශයෙනි. වීර්‍ය්‍ය නො කළ හොත් එය ද නො ලැබේ. එබැවින් දෙලොව වැඩ සාදා ගනු කැමතියන් විසින් අලස නොවී වීර්‍ය්‍ය කළ යුතු ය.

විභංග පාළියේ පමාදය විස්තර කර ඇත්තේ ද කෝසජ්ජය සේ ම ය. ඒකක නිර්දේශයේ එය විස්තර කර ඇත.