23. අනජ්ජවො 24. අමද්දවො

ඇද නැති බව අජ්ජව නම් වේ. ඇද බව සෘජුත්වක් නැති බව අනජ්ජව නම් වේ. එනම් වංක බවය. යමකු පව්කමින් වැළකී දිගට ම කුශල ක්‍රියා ම කරන්නේ නම් ඔහුගේ ඒ ක්‍රියා පරම්පරාව ඇද නැති ගැට නැති මට්ටම් රිටක් සේ සෘජු ය. එසේ යහපත් ක්‍රියා කරගෙන යන පුද්ගලයා යම්කිසි විටෙක පව්කමක් කළහොත් එය ඔහුගේ ක්‍රියා පටිපාටිය අන් අතකට හැරීම ය. එයින් ක්‍රියා පටිපාටිය ඇද වූයේ වෙයි. ඇද යයි කියනුයේ එක් අතකට කෙළින්ම පැවති දෙය අන් අතකට හැරීම ය. මේ ඇදය ඒ ඒ ක්‍රියා අනුව වෙන වෙන ම ද කිය හැකි ය. ප්‍රාණවධයෙන් වළකින තැනැත්තා එය දිගට ම පවත්වනවා නම් ඒ සෘජු බවය. අතරකදී කළ හොත් එය ප්‍ර‍තිපත්තිය ඇදවීම ය. අන්‍ය පාපයන්ගෙන් වැළකීම ගැන ද එසේ ම සැලකිය යුතු ය.

ගෝමුත්‍ර‍වංකය, චන්ද්‍රලේඛාවංකය, නංගල ශීර්ෂ වංකය යි තුන් ආකාර වංකයක් අටුවාවල දක්වා ඇත්තේ ය. එය විස්තර කර ඇත්තේ මෙසේ ය:

යමෙක් පව් කරමින් ම මම පව් නොකරමි යි කියා නම් ඔහුගේ ඒ ගතිය ඉදිරියට පස්සට ඒමක් බැවින් ගෝමුත්‍ර‍ වංකය ය. යමෙක් පව් කරමින් ම මම පවට බිය වෙමි යි කියා නම් ඔහුගේ ඒ ගතිය බෙහෙවින් ඇදයක් බැවින් චන්ද්‍රලේඛා වංකය ය. යමෙක් පව් කරමින් ම කවරෙක් පාපයට බිය නොවේ දැයි කියා නම් ඔහුගේ ඒ ගතිය මහත් ඇදයක් නො වන බැවින් නංගලකෝටි වංකය ය. තවත් ක්‍ර‍මයක් මෙසේ ය: යමකුගේ කර්මද්වාර තුන ම අශුඬ නම් එය ගෝමුත්‍ර‍ වංකය ය. කර්මද්වාර තුනෙන් දෙකක් අශුඬ නම් ඒ චන්ද්‍රලේඛා වංකය ය. එක් කර්මද්වාරයක් අශුඬ නම් ඒ නංගලශීර්ෂවංකය ය. මේ අභිධර්ම අටුවාවේ ආ ක්‍ර‍මය ය. දීඝ නිකාය අටුවාවෙහි දැක්වෙන ක්‍ර‍මය මෙසේ ය: යම් පැවැද්දෙක් ප්‍ර‍ථම වයසේ දී එක් විසි අනේසනයන්හි හා සයක් වූ අගෝචරයන්හි ද යෙදෙමින් කල් යවා මධ්‍යම පශ්චිම දෙවයසෙහි ලජ්ජි ශික්ෂාකාමී පුද්ගලයෙක් වේ නම් ඔහුගේ ස්වභාව ගෝමුත්‍ර‍වංකය ය. ප්‍ර‍ථම පශ්චිම වයස දෙක්හි අනේසන අගෝචරයන්හි හැසිර මැදුම්වියේ දී ශික්ෂාකාමී පුද්ගලයකු වන භික්ෂුවගේ ස්වභාවය චන්ද්‍රලේඛා වංකය ය. ප්‍ර‍ථම මධ්‍යම දෙවයසෙහි ශික්ෂාකාමීව සිට පශ්චිම වයසේ දී අනේසන අගෝචරයන්හි හැසිරෙන්නහු ගේ ඒ ස්වභාවය නංගල කෝටි වංකය ය. තුන් වියේ දී ම මැනවින් හැසිරෙන භික්ෂුව ගේ ස්වභාවය අවංක ය.

අන්‍යයන් ගැන නො සලකන, අන්‍යයන් හා හොඳින් කථා නො කරන, අප්‍රිය කථා කරන, අසන දෙයකට පිළිතුරක් නො දෙන, නැමිය යුත්තන්ට නො නැමෙන ගරු කළ යුත්තන්ට ගරු නො කරන, වැඳිය යුත්තන්ට නො වඳින, කාහටත් කීකරු නො වන රළු ගතිය තද ගතිය අමද්දව නම් වේ. එය ඒ ආකාරයෙන් පවත්නා අධික මානය ය. අමද්දවය ඇති පුද්ගලයා කුළු ගොනකු වැනි ය. කුළු මීහරකකු වැනි ය. ජනයාට අප්‍රියය, බොහෝ දෙනා විසින් වර්ජනය කරන පුද්ගලයෙකි.

මේ රළු ගතිය දෙලෝ වැඩ නසනා ඉමහත් දුර්ගුණයෙකි. මෘදු බව නමැති සද්ගුණයෙහි පිහිටා එය නැති කර ගත යුතු ය. ගරු කළ යුත්තන්ට ගරු කරන ස්වභාවය උත්තම පුද්ගලයන්ගේ ගුණයකි. ගරු කිරීම හා යටහත් පැවැත්ම උසස් ගුණයක් වන බැවින් පස් මරුන් පරදවා සර්වඥපද ප්‍රාප්තව ලෝකාග්‍ර‍ත්වයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ බුදු වූ අලුත නේරඤ්ජරා නදී තීරයේ අජපාල නුගරුක මුල වැඩ වෙසෙන සේක. ගෞරවයක් යටහත් පැවැත්මක් නැති ව විසීම දුකෙක, මා විසින් ගරු කිරීමට සුදුසු පුද්ගලයකු සොයා ගරු බුහුමන් කරමින් විසිය යුතු ය යි සිතා සුදුසු පුද්ගලයකු සොයන සේක් එයට සුදුස්සකු නො දැක, උන් වහන්සේ තමන් වහන්සේ විසින් අවබෝධ කර ගත් ධර්මයට ම ගරු කරමින් සත්කාර කරමින් වාසය කරන්නට සිතා ගත්හ.