සත්ත දිට්ඨියෝ:

මෙහි පාළිය දීර්ඝ බැවින් නො දක්වනු ලැබේ.

සත්ත දිට්ඨි යනුවෙන් මේ සප්තක නිර්දේශයේ දැක්වෙන්නේ උච්ඡේද දෘෂ්ටි සතෙකි. උච්ඡේද දෘෂ්ටියයි කියනුයේ මරණින් සත්ත්වයා කෙළවර වන්නේ ය යි ගැනීම ය. “ද්වේ ජනා උච්ඡේද දිට්ඨිං ගණ්හන්ති ලාභී ච අලාභී ච” යනුවෙන් ධ්‍යාන ලාභී වූ ද අලාභී වූ ද දෙදෙනකු උච්ඡේද දෘෂ්ටිය ගන්නා බව බ්‍ර‍හ්මජාල සූත්‍රාර්ථකථාවෙහි දැක්වේ. දිවැස් ලබා ඇති ඇතැමෙක් රහතුන්ගේ චුතිය දැක ප්‍ර‍තිසන්ධියක් නො දැකීමෙන් ආත්මය සිඳී ගියේ ය යන දෘෂ්ටිය ගනී. සත්ත්වයන් ගේ චුතිය පමණක් දැකිය හැකි ප්‍ර‍තිසන්ධිය දැකීමට නො සමත් ධ්‍යානලාභීහු ද ඇත. ඔවුහු ද මරණින් සත්ත්වයා සිඳියේය යි උච්ඡේද දෘෂ්ටිය ගනිති. ඇතැම්හු පරලොවක් ඇත ද නැත ද කියා කවුරු දනිත් ද? ඉදී බිම වැටෙන ගස්වල කොළ නැවත නො වැඩෙන්නාක් මෙන් මළ සත්ත්වයා නැවත නො වැඩෙන්නේ ය යි කල්පනා කොට උච්ඡේද දෘෂ්ටිය ගනිති. බොහෝ පව් කළ පින් නො කළ අය ද පස්කම් සැප විඳීම ය උසස් දෙය කොට සලකා ගෙන සිටින ලෝභාධිකයෝ ද සුභාෂිත තේරුම් ගැනීමට තරම් නුවණ නැතියෝ ද උච්ඡේද දෘෂ්ටිය ගනිති.

43. රූපස්කන්ධය ප්‍ර‍ධාන කොට පඤ්චස්කන්ධය ආත්මය ලෙස සලකන ඇතැම් ශ්‍ර‍මණයෙක් බ්‍රාහ්මණයෙක් මා පියන් නිසා උපන්නා වූ චාතුර්මහාභූතික වූ රූපවත් වූ මේ ආත්මය මරණින් කෙළවර වන්නේ ය, නැසෙන්නේ ය යි මෙසේ සත්ත්වයාගේ උච්ඡේදය ප්‍ර‍කාශ කරයි. මේ එක් උච්ඡේද දෘෂ්ටියකි.

44. ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතයයි නො කියමි. එහෙත් ඒ ආත්මය ඔබ කියන පරිදි සිඳෙන්නේ නො වේ. පින්වත, දිව්‍යමය වූ රූපවත් වූ කබලිංකාරාහාරය අනුභව කරන්නා වූ කාමාවචර දිව්‍යලෝකයන්ට අයත් වූ ආත්මයක් ඇත. එය ඔබ නො දන්නෙහිය, මම එය දනිමිය, දකිමිය. පින්වත, ඒ ආත්මය මරණින් මතු සිඳෙන්නේ ය. මේ එක් උච්ඡේද වාදයෙකි.

45. ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතයයි නො කියමි. පින්වත, එහෙත් ඔබ කියන පරිදි ඒ ආත්මය සිඳෙන්නේ නො වේ. පින්වත, දිව්‍යමය වූ රූපවත් වූ ධ්‍යාන චිත්තයෙන් උපන්නා වූ සර්වාංග ප්‍ර‍ත්‍යංග සම්පූර්ණ වූ ඉන්ද්‍රිය පරිපූර්ණ වූ අන් ආත්මයක් ඇත. එය ඔබ නො දන්නෙහි ය, නො දක්නෙහි ය. මම එය දනිමිය, දකිමි ය. පින්වත, මේ ආත්මය එහි දී සම්පූර්ණයෙන් සිඳෙන්නේ ය. මේ එක් උච්ඡේද වාදයෙකි.

46. ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැත යයි නො කියමි. එහෙත් ඔබ කියන පරිදි ඒ ආත්මය සිඳෙන්නේ නො වේ. පින්වත, සර්වාකාරයෙන් රූපවචරධ්‍යාන සංඥාවන් ඉක්මවීමෙන් ප්‍ර‍තිඝ සංඥාවන්ගේ අස්තංගමයෙන් නානත්ත සංඥාවන් මෙනෙහි නො කිරීමෙන් ‘අනන්තෝ ආකාසෝ’ යි භාවනා කිරීමෙන් ආකාසානඤ්චායතන ධ්‍යානයට පැමිණියා වූ ආත්මයක් ඇත. එය ඔබ නො දන්නෙහි ය. නො දක්නෙහි ය. මම එය දනිමිය. දකිමිය. පින්වත, ඒ ආත්මය මරණින් මතු සිඳෙන්නේ ය. මේ එක් උච්ඡේද වාදයෙකි.

47. ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතයයි නො කියමි. එහෙත් ඔබ කියන පරිදි එය සිඳෙන්නේ නො වේ. පින්වත, ආකාසානඤ්චායතන ධ්‍යානය ඉක්මවා ‘අනන්තං විඤ්ඤාණං’ යි භාවනා කොට විඤ්ඤාණඤ්චායතන ධ්‍යානයට පැමිණියා වූ ආත්මයක් ඇත. එය ඔබ නො දන්නෙහි ය. නො දකින්නෙහි ය. මම එය දනිමිය දකිමිය. ඒ ආත්මය මරණින් සිඳෙන්නේ ය. මේ එක් උච්ඡේද වාදයෙකි.

48. ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතයයි නො කියමි. එහෙත් ඔබ කියන පරිදි ඒ ආත්මය සිඳෙන්නේ නො වේ. පින්වත, සර්වාකාරයෙන් විඤ්ඤාණඤ්චායතන ධ්‍යානය ඉක්මවීමෙන් “නත්ථි කිඤ්චි” යි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නො දන්නෙහි ය, නො දකින්නෙහි ය. මම එය දනිමිය. දකිමිය. මරණින් මතු ඒ ආත්මය සිඳෙන්නේ ය. මේ එක් උච්ඡේද වාදයෙකි.

49. ඔහුට අනිකෙක් මෙසේ කියයි. පින්වත, ඔබ කියන ආත්මය ඇත. එය නැතයයි නො කියමි. එහෙත් ඔබ කියන පරිදි ආත්මය එපමණකින් සිඳෙන්නේ නො වේ. පින්වත, සර්වාකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානයට පැමිණි ආත්මයක් ඇත. එය ඔබ නො දන්නෙහි ය. නො දක්නෙහි ය, මම එය දනිමිය, දකිමිය. පින්වත, ඒ නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණි ආත්මය මරණින් මතු සිඳෙන්නේ ය. අභාවයට යන්නේ ය. මේ එක් උච්ඡේද වාදයෙකි. මේ දෘෂ්ටි සත ය.

සප්තක නිර්දේශය නිමියේ ය.

_______