1. කෝධෝ 2. උපනාහෝ

අනුන්ට බණින තර්ජනය කරන අත්පා ආදියෙන් පහර දෙන අනුන් මරණ අන්සතු වස්තුව විනාශ කරන සමහරවිට තමාගේ වස්තුව වුව ද විනාශ කරන තමාගේ ජීවිතය වුව ද නසන රෞද්‍ර‍ වූ විරුද්ධ ස්වභාවය ක්‍රෝධය ය. බලවත් ක්‍රෝධය පුද්ගලයා උමතු කරයි. ක්‍රෝධයෙන් උමතු වූ පුද්ගලයා සමහරවිට තමා ගේ බඩු ද බිම ගසා පොඩි කර විනාශ කරයි. සමහරවිට ගිනි තබා විනාශ කරයි. තමාගේ අඹුදරුවන්ට තර්ජනය කරයි. පහර දෙයි. සමහරවිට මරා දමයි. එසේ කොට තමාගේ ජීවිතය ද නසා ගනියි. අන්‍යයන්ට අපරාධ කිරීම ගැන කියනුම කිම? මේ ක්‍රෝධය ලෝකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍යය ය. ක්‍රෝධය හටගත් පුද්ගල තෙමේ මව්පියන්ට ද අපරාධ කරයි. සහෝදර සහෝදරියන්ට ද අපරාධ කරයි. පැවිද්දන්ට ද අපරාධ කරයි. ගරු කළ යුතු වූ අපරාධ කිරීමට නුසුදුසු වූ අන් ගුණවතුන්ට ද අපරාධ කරයි. එයින් ඔහු ආ ගිය තැන ගැරහුම් ලබයි. දඬුවම් ද ලබයි. ක්‍රෝධය මෙසේ ලෝකවද්‍ය වශයෙන් මහාසාවද්‍ය වේ. කෝප වූ පුද්ගලයා සමහර විට මවුපියන් මරා කල්පයක් අපායෙහි පැසෙයි. එබැවින් ක්‍රෝධය විපාකවද්‍ය වශයෙන් ද මහාසාවද්‍ය වේ. ක්‍රෝධයෙන් වන පව්වල විපාකය නැති කර ගැනීම අපහසු ය.

දෝසේන හි දුට්ඨෝ මාතාපිතූසුපි චෙතියෝ පි බෝධිම්හි පි පබ්බජිතෙසු පි අපරජ්ඣිත්වා මය්හං ඛමථාති අච්චයං දෙසෙති. තස්ස සහ ඛමාපනේන තං කම්මං පටිපාකතිකමේව හෝති.

යනුවෙන් කෝප වූ මව්පියන්ට හෝ චෛත්‍යයට බෝධියට හෝ පැවිද්දාට හෝ අපරාධ කළ තැනැත්තාට ක්ෂමා කරවා ගැනීමෙන් එහි දෝෂය නැති කර ගත හැකි බව මනෝරථ පූරණී අට්ඨකතාවෙහි දක්වා ඇත්තේ ය. ක්ෂමාව ලබා ගැනීමෙන් නිදහස් විය හැක්කේ කුඩා අපරාධ ගැන පමණක් බව කිය යුතු ය. මව්පියන් මැරීම ආනන්තරිය කර්මයක් වන නිසා කවරාකාරයකින් වත් එහි විපාකය නො වැළැක්විය හැකි ය.

මහානර්ථකර වූ මේ ක්‍රෝධය ඇති වුව හොත් එය සිය නිවසට ඇතුළු වූ සර්පයකු සේ ද, කුසට ඇතුළු වූ වසක් මෙන් ද සලකා දුරු කිරීමට උත්සාහ කළ යුතු ය. යම්කිසි කරුණක් ගැන කෝපය ඇති වූ කල්හි එය වහා සන්සිඳවා නො ගත හොත් ක්‍ර‍මයෙන් වැඩේ. මුලින් ඇති වූ ක්‍රෝධය ක්‍ර‍මයෙන් පරුෂ වචන කියන තත්ත්වයට ද, පහර දීම සඳහා අත් පා ක්‍රියා කරවන තත්ත්වයට ද, ගල් මුල් පොලු වලින් පහර දෙන තත්ත්වයට ද, කඩු කිණිසි වලින් පහර දෙන තත්ත්වයට ද, ගෙවල් ගිනි තබන බඩු විනාශ කරන තත්ත්වයට ද සිය දිවි නසා ගන්නා තත්ත්වයට ද දියුණු වේ. මෙසේ ක්‍රෝධය දියුණු වන්නේ කිපී ඇත්තේ මමය කියා ක්‍රෝධය ආත්ම වශයෙන් හෝ මාගේ ක්‍රෝධය කියා ආත්මීය වශයෙන් හෝ සැලකීම නිසා ය. ක්‍රෝධය එසේ ආත්ම වශයෙන් හෝ ආත්මීය වශයෙන් හෝ නො ගෙන තමාගේ පඤ්චස්කන්ධය නමැති ගෙට ඇතුළු වූ සර්පයකු ලෙස විෂක් ලෙස සලකන්නවුන්ට ක්‍රෝධය නො වැඩේ. ඔවුනට සර්පයා පලවා හරින්නාක් මෙන් ක්‍රෝධය පලවා හැරිය හැකි ය.

ගිනිදැල් විහිදුවමින් පැවති ගිනි අඟුරු අලුයෙන් යට වූ විට කලක් නිසල ව පවතී. එමෙන් පටන් ගැන්මේ දී ක්‍රියාකාරිත්වයෙන් පැවති ක්‍රෝධය එහි අධික වේගයෙන් සන්සිඳී අලුයෙන් යට වූ ගිනි අඟුර මෙන් සිත්සතන්හි යට වී පවතී. එය අප්‍ර‍කට ය. ඒ තත්ත්වයට පැමිණි ක්‍රෝධය උපනාහ නම් වේ. වෛරය යනු ද එයට නමෙකි. වෛරය ලෙහෙසියෙන් නො සන්සිඳෙන දීර්ඝ කාලයක් පවතින ක්ලේශයෙකි. සමහරවිට එය එක් ජාතියකදී කෙළවර නොවී කාළි යකින්නගේ වෛරය මෙන් ද, දෙවිදත්ගේ වෛරය මෙන් ද භවාන්තරයට ද යන්නේ ය. වෛරය නිසා බෝසතාණන්ට අපරාධ කොට දෙවිදත් බොහෝ වාර ගණනක් අවීචියෙහි උපන් බව ජාතක කථාවල සඳහන් ව ඇත්තේ ය.

න හි වේරේන වේරානි -සම්මන්තීධ කුදාචනං,

අවේරේන ච සම්මන්ති - එස ධම්මෝ සනන්තනෝ

(ධම්මපද යමක වග්ග)

කෙළ සෙම් සොටු මළ මුත්‍රයෙන් අපවිත්‍ර‍ වූ තැනක් ඒවායින් ම සෝදා පිරිසිදු නො කළ හැකි ය. පිරිසිදු කරන්නට ය කියා ඒවායින් සේදුවහොත් ස්ථානය වඩාත් අපවිත්‍ර‍ වන්නේ ය. වඩා දුගඳ වන්නේ ය. බණින්නහුට පෙරළා බැණීමෙන්, පහර දෙන්නහුට පෙරළා පහර දීමෙන් වෛරදය නො සන්සිඳේ. එයින් වෛරය වඩාත් දියුණු වේ. පිරිසිදු දියෙන් සේදීමෙන් අපවිත්‍ර‍ ස්ථාන පිරිසිදු වන්නාක් මෙන් ක්ෂාන්ති මෛත්‍රි ආදි අවෛරයෙන් ම වෛරය දුරු වේ. මේ බුද්ධාදි මහෝත්තමයන් ගිය පෞරාණික මාර්ගය යයන ඉහත දැක්වූ ගාථාවේ අදහස ය.