විශ්කම්භණ ප්‍ර‍හාණය:

රූපාවචර අරූපාවචර ධ්‍යානචිත්තයන් ඇති වන කල්හි කාමච්ඡන්දාදි නීවරණයෝ බැහැර වෙති. නැඟී නො එති. ධ්‍යානයට පෙර පසු කාල දෙක්හි ද නීවරණයෝ නැඟී නො එති. කාමච්ඡාන්දාදීන්ට නැඟී නොන ආ හැකි තත්ත්වයට පැමිණවිය හැකි බව ධ්‍යාන චිත්තයන්හි ඇති බල විශේෂයකි. ධ්‍යානචිත්තයන් නිසා වන ඒ කෙලෙසුන්ගේ දුරුවීම විෂ්කම්භණප්‍ර‍හාණ නම් වේ.

තදංග වශයෙන් විෂ්කම්භණ වශයෙන් කරන ක්ලේශප්‍ර‍හාණය ස්ථිර නැත. එසේ ප්‍ර‍හාණය කළ ක්ලේශයෝ කලක් යටපත් ව තිබී නැවත නැඟී එති. එබැවින් කලෙක සිල්වත් ව විසුවෝ කලෙක දුශ්ශීල වෙති. කාමයන් හැර ධ්‍යාන ලබා අහසින් ගමන් කළාහු කලෙකදී කිසිදු බලයක් නැති කාමභෝගීහු වෙති. අප බෝසතාණන් වහන්සේට පවා එසේ වූ බව ජාතක කථාවල සඳහන් ව ඇත්තේ ය.