ජරාව එක්තරා සංවේග වස්තුවකි. එහෙත් නුවණ මඳ තරුණයන්ට මහල්ලන් දුටු විට ඔවුන් දුබලයන් කොට මෝඩයන් කොට පහත් කොට පිළිකුල් කොට සලකන තමා උසස් කොට ගන්නා මානය ඇති වේ. කළ යුත්ත නොකළ යුත්ත නො දැනෙන පමණට වැඩුණා වූ ඒ මානය යොබ්බනමද නම් වේ. යෞවන මදය, තරුණ මදය යන මේවා ද එහි නම් ය. වැඩි මහල්ලෝ බාලයන් විසින් ගරු කළ යුත්තෝ ය. රහත් භික්ෂුව විසිනුදු වැඩිමහල් පෘථග්ජන භික්ෂුවට ගරු කළ යුතු බව වැඳිය යුතු බව බුද්ධ නියමය ය. යෞවන මදයෙන් මත්වූවෝ මහල්ලන්ට විසුළු කරමින් ඔවුනට කරදර කරති. එය මහත් පාපයකි. ගුණවත් මහල්ලන්ගේ සිත් රිදවන තරුණයන්ට සමහර විට එයින් වන අනිෂ්ඨ විපාක මෙලොවදීමත් ලැබෙන්නේ ය. වැඩිමහල්ලෝ ද එක්තරා පූජනීය කොට්ඨාසයකි. එබැවින් ඔවුනට ගරු කළ යුතු ය. වැඩිමහල්ලන්ට ගරු කිරීමේ අනුසස් මෙසේ වදාරා ඇත්තේ ය.
යේ වුද්ධ මපචායන්ති - නරා ධම්මස්ස කෝවිදො.
දිට්ඨෙව ධම්මේ පාසංසා - සම්පරායේ ච සුග්ගති.
(ජාතක පාලි)
“වැඩි මහල්ලන්ට ගරු කිරීමට දන්නා වූ අය යම් මිනිස් කෙනෙක් වෘද්ධයන්ට ගරු බුහුමන් කෙරෙත් ද ඔවුහු ඉහත ආත්මයෙහි ප්‍රශංසා ලබන්නෝ ද මරණින් මතු සුගතියෙහි උපදින්නෝ ද වෙත්ය” යනු එහි තේරුම ය.
තරුණ මදය දෙලොව ම පිරිහීමට හේතුවන නපුරු මදයකි. තරුණ මදයෙන් මත්වූවෝ කාරුණික වූ ද හිතකාමී වූ ද මාපියන්ගේ අවවාද අනුශාසනයන් නො පිළිගනිති. ඕවා මහල්ලන්ගේ මෝඩ අදහස් ය කියා අවමන් කර ධර්මය නො පිළිගනිති. ඔවුහු ඕනෑ නීච ක්‍රියාවක් කිරීමට ලැජ්ජා නො වෙති. සොරකම් ආදි නීච ක්‍රියා දස්කම් ලෙස සලකති. ඕනෑ ම අපරාධයක් කිරීමට බිය නො වෙති. එයින් ඔවුහු මෙලොවත් පිරිහී මරණින් මතු අපායට ද යති.